මලල ක්‍රීඩා පිටියේ වැඩ ඇරඹෙන දින වකවානු ස්ථීර වෙයි

343

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම පිළිබඳව දැනුම් දීමට සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව අනුග්‍රාහකයෙකු පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (11) කොළඹ Ramada හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය.

එහි දී ශ්‍රී ලංකා ජාතික සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා පත්කර ගැනීමේ ජාතික තරග මෙම වසරේ ඔක්තෝබර් මස 23 සිට 25 දක්වා පැවැත්වීමට සූදානම් බව නිල වශයෙන් දැනුම් දුන් අතර එම තේරීම්වලින් අනතුරුව මෙම වසරේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බව දැනුම් දෙන ලදි.

මලල ක්‍රීඩා සංචිත තේරීම පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව අනුග්‍රාහකයා ලෙස Gnanam Foundation හඳුන්වා දුන් අතර එම අනුග්‍රාහකත්වය පිළිබඳව දැනුම් දෙමින් ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම වසංගත තත්වය නිසාවෙන් ව්‍යාපාර පාඩු ලබනා අවස්ථාවක මෙලෙස අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳව Gnanam Foundation වෙත සිය ස්තුතිය පිරිනමන බවයි.

“මෙම අනුග්‍රහකත්වය මගින් ලැබෙන මුදල අප මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය සඳහා යොදා ගැනීමට සූදානම්, දේශීය තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය කටයුතු සිදු කිරීමට මෙම මුදල් භාවිතා කිරීමට නියමිත අතර විදේශීය තරගාවලි සඳහා මෙම අනුග්‍රාහකත්වය යටතේ ලැබෙන මුදල් භාවිතා කරන්නේ නැහැ” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්

පසුව ජාතික තේරීම් තරග පැවැත්වීමේ දින පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර තරගාවලිය කුමන බාධාවක් මත වූවද යොදා ගත් දිනවල දී ස්ථීරවම පැවැත්වීමට කටයුතු කරන බවයි.

“අපට එම දිනවල දී ස්ථීරවම තරගාවලිය තියන්න වෙනවා, එහෙම නැත්නම් අපිට එයාලව එකට සංචිත කරලා පුහුණු කරවන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඔක්තෝබර් අවසන් සතියේ තමා මේක පවත්වන්නේ එතකොට අපට ඉතිරි වන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස පමණයි.

අප්‍රේල් මාසය වෙනකොට අපි ආසියානු සහය දිවීමේ තරගාවලිය සඳහා සංචිතයක් යවන්න ඕන, මැයි මාසයේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සංචිතයක් යවන්න ඕන, ඒ අතරතුර තවත් තරගාවලි ලැබුනොත් ඒවා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කළ යුතුයි.

එම තරගාවලි සඳහා සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩකයන්ට අවස්ථාවක් දිය යුතුයි, එලෙස අවස්ථාවක් ලබා දීමට නම් එම අවස්ථා සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන ඉන්න ඕන. ඒ නිසා මෙම ක්‍රීඩකයින් තේරීමේ තරග පැවැත්වීම අත්‍යවශ්‍ය දෙයක්. මෙම තරගාවලිය දවස් තුනක් ඇතුළත කිරීමට බැරි නම් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පරිදි දින ගණන වෙනස් කරමින් පැවැත්වීමට සූදානම්.

මෙම තත්වය අපට දැඩි ලෙස බලපානවා ලබන වසරේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ දී, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් දරුවන්ට ක්‍රීඩා කිරීමට තහනමක් පනවලා තියෙන්නේ. ඒ නිසාවෙන් අප එක් දිනකට පැවැත්වෙන ඉසව් ගණන සීමා කිරීමෙන් හෝ එම සංචිත තේරීම් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් පසුවනවා” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව මේ දිනවල මලල ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ජෙනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්ට අවශ්‍ය උපදේශයන් ලබා දී අවසන් බවත්, කණ්ඩායම් දියතලාව, බොරලන්ද සහ කොළඹ ආශ්‍රිතව සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් පවතින බවත්ය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<