දැඩි සත්කාර ඒකකයේ සිට ඇවිත් අර්ධ ශතකයක් ගත් කැප වීම

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

601

ඊයේ (11) ඕස්ට්‍රේලියාව සමඟ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පෙර පාකිස්තාන ආරම්භක පිතිකරු Mohammad Rizwan දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගත් බව පාකිස්තාන ක්‍රිකට් කළමනාකරුවන් තහවුරු කර සිටියා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් පසු Rizwan දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඡායාරූපයක් මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පැවති අතර එයට පිළිතුරු සපයමින් පාකිස්තාන ක්‍රිකට් කළමනාකරුවන් මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

තරගය ආරම්භයට පෙර Rizwanගේ සහභාගීත්වය පිළිබඳව ගැටලුවක් තිබූ නමුත් සිය රෝගී තත්වය පරදවා ක්‍රීඩා කළ ඔහු පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 52ක් තුළ ලකුණු 67ක් රැස්කරමින් සිය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලකුණු 176ක ලකුණු පුවරුවක් කරා යෑමට අඩිතාලම සැකසුවා.

ඉතා තියුණු තරගයකින් පසු Matthew Wade පිට පිට එල්ල කළ හයේ පහරවල් ත්‍රිත්වය නිසාවෙන් පාකිස්තානයට අමිහිරි පරාජයක් ලැබීමට සිදු වූවත්, සිය රට වෙනුවෙන් Mohammad Rizwan පෙන්වූ ධෛර්යය සියල්ලන්ගේ අවධානයට ලක්ව ඇත.

Mohammad Rizwan හට තරමක දරුණු පපුවේ ආසාදනයක් (severe chest infection) ඇතිව තිබූ බවට ප්‍රථමයෙන් තහවුරු කළ ඕස්ට්‍රේලියානු හිටපු පිතිකරු මෙන්ම පාකිස්තාන වත්මන් පිතිකරණ උපදේශක Matthew Hayden ප්‍රකාශ කර සිටියේ ඔහු (Rizwan) රණකාමියෙක් බවයි.

එමෙන්ම පාකිස්තාන කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ Najeeb Somroo ද Mohammad Rizwan පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔහු (Rizwan) පපුවේ ආසාදනයක් නිසාවෙන් දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ සිටි බවයි.

“Mohammad Rizwan හට නොවැම්බර් 09 වැනිදා දරුණු පපුවේ ආසාදනයක් ඇතිවූ නිසා ඔහුව රෝහල් ගත කළා. ඔහු එයින් සුවය ලැබීමට දැඩි සත්කාර ඒකකයේ දින දෙකක් ගත කළා. ඔහු අදහාගන්න බැරි විදියට සුවය ලබමින් තරගයට පෙර නියමිත යෝග්‍යතාවෙන් සිටියා.

ඔහුගේ දැඩි අධිෂ්ඨානය සහ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තියෙන ධෛර්යය අපිට ඒකෙන් දැකගන්න පුළුවන් වූනා වගේම ඔහු ක්‍රීඩා කරන විදිය ද ඔහු තරගයේ දී පෙන්නුම් කළා. ඔහුගේ සෞඛ්‍ය පිළිබඳව තීරණය ගත්තේ කණ්ඩායම් කළමනාකරණය විසිනුයි. මෙය මුළු කණ්ඩායමට බලපාන දෙයක් නිසා එය අපි අප තුළම තබා ගත්තා”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම Mohammad Rizwan රෝහල්ගතව සිටින ඡායාරූපයක් පලකරමින් පාකිස්තාන හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Shoaib Akhtar සඳහන් කර තිබුණේ,

ඔබට හිතා ගන්නට පුළුවන් ද මෙම පුද්ගලයා අද රට වෙනුවෙන් ක්‍රීඩා කරලා තමන්ගේ උපරිමය දුන්නා කියලා. පසුගිය දින දෙකෙහි ඔහු සිටියේ රෝහලෙයි”.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<