ටෙනිස් ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ මව්වරුන් තිදෙනා

214

පසුගිය සඳුදාට (07) යෙදී තිබුනු මෙම වසරේ ඇමෙරිකා එක්සත් ජනපද කම්කරු දිනයේ දී ඉතිහාසය අලුත් වන්නට වූයේ වෘත්තීය ටෙනිස් යුගයේ ප්‍රථම වතාවට මව්වරුන් තිදෙනෙකු Grand Slam ටෙනිස් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමත් සමඟයි. 

ඒ මේ වන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙමින් තිබෙන එක්සත් ජනපද විවෘත (U.S. Open) ටෙනිස් තරගාවලියේ දී Serena Williams, Tsvetana Pironkova සහ Victoria Azarenka යන ක්‍රීඩිකාවන් තිදෙනාම සිය සිව්වන වටයේ තරග ජයග්‍රහණය කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සිය සුදුසුකම තහවුරු කරගැනීමත් සමඟයි. ඒ අනුව තරගාවලියේ සංවිධායකයින් වාර්තා කර සිටින ආකාරයට මේ අන්දමින් මව් පදවිය ලබා ඇති ක්‍රීඩිකාවන් තිදෙනෙකු Grand Slam ටෙනිස් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන ඇත්තේ අඩුම තරමින් 1968 වසරේ දී ටෙනිස් ක්‍රීඩාවේ විවෘත යුගය ආරම්භ වීමෙන් පසුව ඉතිහාසයේ පළමු වරට යි. 

මෙවර එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වන ක්‍රීඩිකාවන් අතුරින් තෙවන ඉහළම ශ්‍රේණිගත කිරීමට හිමිකම් කියන ඇමෙරිකාවේම Serena Williams මෙවර තරගාවලියට එක්ව සිටින්නේ සිය 24 වන Grand Slam ශූරතාවය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙනි. ඇය පසුගිය සඳුදා දිනය ආරම්භ කරනු ලැබුවේ සිය සිව්වන වටයේ තරගයේ දී ග්‍රීසියේ Maria Sakkari ලකුණු 6-3, 6-7 (6) සහ 6-3ක් වශයෙන් පරාජයට පත්කරමිනි. මෙහිදී Serena සිය තුන් හැවිරිදි දියණිය Olympia නරඹන්නන් අතර සිටිය දී මෙම තරගාවලියේ දී අවම වශයෙන් එක් තරගයක් හෝ ක්‍රීඩා කර ඇත. 

“මව්වරුන් වෙනුවෙන් මට සම්පූර්ණයෙන්ම අලුත් ගෞරවයක් තියෙනවා. මම කවදාවත්ම හිතලා නැතුව ඇති මම මවක් විදිහටත් මේ ක්‍රීඩාවේ නිරත වෙයි කියලා. ඒකේ තියෙන හොඳම දේ තමයි තමයි කවදාහරි ඔබේ දුවට කියන්න පුළුවන් එයත් එදා එතැන හිටියා කියන එක. ඇයට ඒක ගැන මතක තිබුනත් නැතත් අපිට හැමවෙලේම ඒකේ ඡායාරූප තියාගන්න පුළුවන්. ඒක ඇරුනම මවක් විදිහට ක්‍රීඩා කරන එක ගත්තොත් නම් තියෙන්නේ ගොඩක් අපහසු තත්වයක්. මොකද ඒ හරහා ගොඩක් දුරට මට ඇය එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක මට ගොඩක් අමාරු දෙයක්.” Serena සිය තෙවන සහ සිව්වන වටයේ තරග අතරතුර ඒ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. 

අනතුරුව එදිනම දහවල් වරුවේ දී බල්ගේරියාව නියෝජනය කරමින් තරගාවලියට එක්වන Pironkova, සිය සිව්වන වටයේ තරගයේ දී ප්‍රංශයේ Alize Cornetව ලකුණු 6-4, 6-7 (5) සහ 6-3ක් වශයෙන් පරාජයට පත්කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. ඒ අනුව ඇය එම වටය යටතේ අද (09) දිනයේ දී Serena සමඟ තරග වැදීමට නියමිත ය. 

2018 වසරේ අප්‍රේල් මාසයේ දී මව් පදවිය ලැබූ Pironkova ඇයගේ පුතු Alexander උපත ලැබීමෙන් අනතුරුව ටෙනිස් පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ මීට මාස 8ක කාලයකට පමණ පෙර වන අතර ඒ අනුව ඇය මෙසේ ටෙනිස් තරගාවලියක් සඳහා සහභාගී වන්නේ වසර 3ක දීර්ඝ විවේකයකින් අනතුරුව වීම විශේෂත්වයකි. ඇය අවසන් වරට Grand Slam තරගාවලියක අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් හිමිකර ගෙන ඇත්තේ 2010 වසරේ Wimbledon ටෙනිස් තරගාවලියේ දීය. 

“මවක් විදිහට සිදුකරන්න තියෙන හැමදෙයක්ම මේ සඳහා මට උදව් වුනා කියලා මම හිතනවා. මවක් වීමත් එක්ක අනිවාර්යයෙන්ම ඔබ වෙනස් පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඔයා තමන් ගැන කලින් තරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. මොකද එතකොට ඔයාගේ මූලික අවධානය වෙන්නේ ඔබේ දරුවා. ඉතින් මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. ඒ වගේම කලින්ට වඩා මම දැන් ගොඩක් පිළිවෙල කෙනෙක්. මානසිකව ගත්තොත් මගේ දරා ගැනීමේ ශක්තිය ඉහළ ගිහින් තියෙනවා වගේම කායිකවත් මම දැන් කලින් හිටියට වඩා ශක්තිමත්” යයි Pironkova පවසා සිටියාය. 

අවසාන වශයෙන් එදිනම රාත්‍රියේ දී මීට පෙර ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ ද පසුවූ ක්‍රීඩිකාවක වන බෙලරුසියාවේ Azarenka, සිය සිව්වන වටයේ තරගයේ දී චෙක් ජනරජයේ Karolina Muchovaව ලකුණු 5-7, 6-1 සහ 6-4ක් වශයෙන් පරාජයට පත්කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නට සමත් විය.  

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය දෙවරක් ජයග්‍රහණය කර ඇති ඇය 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී මව් පදවිය ලබාගැනීමට පෙර සිය ටෙනිස් දිවිය තුළ සමස්ත Grand Slam අර්ධ අවසන් පූර්ව වට 16කට සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටියාය. කෙසේ නමුත් සිය පුතු Leo උපත ලැබීමෙන් අනතුරුව මේ ආකාරයට ඇය ප්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලියක අවසන් 8 දෙනා අතරට සුදුසුකම් ලබාගත්තේ පළමු වරට යි. 

“මම මවක් වීම නිසාම මට වෙනසක් දැනෙනවා ද කියන්න මම දන්නේ නැහැ. මම ටෙනිස් ක්‍රීඩා පිටිය තුළ මාව මවක් විදිහට හඳුනගන්නේ නැහැ. එතකොට මම තාමත් මාව හඳුනගන්නේ ටෙනිස් ක්‍රීඩිකාවක් විදිහට. මම මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ මම මවක් වීම නිසා නෙමෙයි. මේ තැනට මම ඇවිත් ඉන්නේ ටෙනිස් ක්‍රීඩිකාවක් වීම නිසා. ඒත් මේ අවස්ථාව මට මගේ පුතා එක්ක බෙදාහදා ගන්න ලැබීම මට ලොකු සතුටක් වගේම මම හිතනවා මට ඔහුට හොඳ ආදර්ශයක් වෙන්න පුළුවන් වෙයි කියලා” යයි Azarenka මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

ටෙනිස් ක්‍රීඩාවේ සාර්ථක වූ තවත් මව්වරුන් 

Grand Slam කේවළ ශූරතා 24ක් සිය ක්‍රීඩා දිවිය තුළ ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු ජාතික Margaret Court එහිදී ඇයගේ අවසන් ශූරතාවලි 3ම ජයග්‍රහණය කරනු ලැබුවේ ඇය මව් පදවියෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව ය. තවද ඕස්ට්‍රේලියාවේම Evonne Goolagong Cawley විසින් 1980 වසරේ දී Wimbledon ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ මවක් වී වසර 3ක කාලයකින් අනතුරුව ය. 

තවත් කියවන්න; 

එමෙන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි මව් පදවියෙන් පිදුම් ලැබූ Kim Clijsters, නැවතත් ටෙනිස් ක්‍රීඩාවට පිවිස 2009 සහ 2010 වසර වලදී එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය ජයග්‍රහණය කර පසුව 2011 වසරේ දී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය ද දිනාගැනීමට සමත් වූවාය. අනතුරුව 2013 වසරේ දී නැවතත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ඇය වසර 7ක විවේකයකින් අනතුරුව නැවතත් මෙවර එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ටෙනිස් ක්‍රීඩාවට පිවිසියත් එහිදී ඇය තරගාවලියේ පළමු වටයම වට 3ක තරගයකින් අනතුරුව පරාජයට පත්විය. 

“පසුගිය වසර 7ක කාලය පුරාවට මම පූර්ණ කාලීන මවක් විදිහට කටයුතු කළේ. ඒක මම ගොඩක් කැමැත්තෙන් කළේ. ඇත්තටම ගොඩක් සතුටෙන් මම ඒක කළේ. ඒත් මම වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් විදිහටත් කටයුතු කළේ ලොකු කැමැත්තකින්. ඉතින් ඇත්තටම ඒක නැති වීම ගැන මට ලොකු කණගාටුවක් තිබුනා. ඉතින් මම හිතුවා මට මේ දෙකම කරන්න උත්සාහ කරලා බලන්න පුළුවන් ද කියලා. මගේ දරුවන් තුන් දෙනාට ආදරණීය මවක් වෙන අතරතුර මගේ මට්ටමින් මට වෙන්න පුළුවන් හොඳම ටෙනිස් ක්‍රීඩිකාව වෙන්න මට පුළුවන් කමක් ලැබෙයි ද කියලා හිතලා මම තීරණය කළා ඒක කරන්න.” Clijsters නැවතත් ටෙනිස් ක්‍රීඩාවට පිවිසීමට ගත් තීරණය දැනුම් දුන් අවස්ථාවේ දී පවසනු ලැබීය.  

NBC Sports වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි.  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<