යාපනය – දඹුලු NSL ද්වන්ධ සංග්‍රාමය

National Super League Limited Over Tournament 2023

180

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 06 වැනිදා (හෙට) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය සඳහා ජනත් ලියනගේගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම තරග වැදීමට සුදුසුකම් ලබා සිටිනවා.

කණ්ඩායම් දෙකේ මේ දක්වා ගමන් මඟ
යාපනය දඹුල්ල
ප්‍රතිවාදීන් ප්‍රතිඵලය ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 ගාල්ල යාපනය කණ්ඩායමට ලකුණු 55ක ජයක්. කොළඹ දඹුල්ල කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
2 මහනුවර යාපනය කණ්ඩායමට කඩුලු 3ක ජයක්. ගාල්ල දඹුල්ල කණ්ඩායමට ලකුණු 62ක ජයක්.
3 කොළඹ විසඳුමක් නෑ. මහනුවර දඹුල්ල කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
4 දඹුල්ල දඹුල්ල කණ්ඩායමට 84ක ජයක්. යාපනය දඹුල්ල කණ්ඩායමට ලකුණු 84ක ජයක්.
5 ගාල්ල ගාල්ල කණ්ඩායමට කඩුල්ලක ජයක් කොළඹ දඹුල්ල කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
6 මහනුවර යාපනය කණ්ඩායමට කඩුලු 7ක ජයක් ගාල්ල ගාල්ල කණ්ඩායමට කඩුලු 5ක ජයක්
7 කොළඹ යාපනය කණ්ඩායමට ලකුණු 25ක ජයක් මහනුවර දඹුල්ල කණ්ඩායමට කඩුල්ලක ජයක්.
8 දඹුල්ල දඹුල්ල කණ්ඩායමට ලකුණු 34ක ජයක් යාපනය දඹුල්ල කණ්ඩායමට ලකුණු 34ක ජයක්.

දඹුල්ල මේ දක්වා පැමිණි ගමනේ දී තරග 8න් 7ක් ජයග්‍රහණය කිරීම කැපී පෙනෙනවා. ඔවුන්ගේ තරග ලැයිස්තුවේ පරාජිත තරගය ලෙසින් සටහන් වෙන්නේ ගාල්ල කණ්ඩායමෙන් ලත් පරාජයයි. ඒ අනුව දඹුලු ක්‍රීඩකයෝ පළමු වටය අවසන් කරන්නේ ප්‍රසාද ලකුණු 33ක් ලබා ගනිමිනුයි.

යාපනය සහභාගී වූ තරග 8න් තරග 4ක් ජයග්‍රහණය කරමින් තරග 3ක් පරාජය වෙමින් සහ එක් තරගයක විසඳුමකින් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු 20ක් ලබා ගනිමින් එම පුවරුවේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

දඹුල්ල කණ්ඩායම

දඹුල්ල කණ්ඩායමේ නැංගුරම් පිතිකරු බවට පත් ව සිටින්නේ 20 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු පවන් රත්නායක. ඔහු පිටියට පිවිසි ඉනිම් 8 දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 287ක් ලබා ගන්නවා. මේ ලකුණු අතර යාපනය කණ්ඩායමට එරෙහිව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 107ක් ද ඇතුළත්.

ඊට අමතර ව 22 හැවිරිදි වියේ පසුවෙන සොනාල් දිනූෂ දඹුලු කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ දෙවැනි අසුන හිමි කර ගෙන සිටිනවා. ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 202ක් ලබා ගන්නේ, ඒ අතරට අර්ධ ශතක 2ක් ද ඇතුළත් කර ගනිමින්.

කණ්ඩායමේ අනෙක් ශතකලාභියා මෙන් ම පිතිකරු ලැයිස්තුවේ තෙවැනියා ද වෙන්නේ නායක මිනෝද් භානුක. ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 182ක් වන අතර ඊට මහනුවර කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 104ක් ද ඇතුළත්.

කෙසේ වෙතත් භානුකට අවසන් ඉනිම් 5 දී සාර්ථක පිතිකරුවෙක් වීමේ අවස්ථාව ලැබී නැහැ. ඔහු එම ඉනිම් 5 දී ලබා ගෙන ඇත්තේ ලකුණු 38ක් පමණයි. එබැවින් ඔහු මෙම තරගයේ දී එහි වාඩුව ගැනීමට වඩාත් සන්නද්ධව පිටියට පිවිසීමට ඉඩ තිබේ.

ඔවුන්ට අමතර ව ලසිත් අබේරත්න, රනිත ලියනාරච්චි සහ අභිශේක් ලියනාරච්චි දඹුලු කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව සරසන පිතිකරුවෝ ලෙසින් හැඳින්විය හැකි.

කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ලෙසින් දුශාන් හේමන්ත සහ අශාන් ප්‍රියංජන් හැඳින්විය හැකි. දුශාන් පිතිකරුවෙක් ලෙසින් ලකුණු 131ක් ලබා ගනිද්දී, පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 10ක් ලබා ගන්නවා. අශාන් පිතිකරුවෙක් ලෙසින් ලකුණු 98ක් ලබා ගෙන සිටින අතර පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 10ක් ලබා තිබෙනවා.

දඹුලු කණ්ඩායමේ කඩුලු දවාගත් පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන ඇත්තේ ලහිරු සමරකෝන්. ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 15ක්.

දඹුල්ල කණ්ඩායමේ සංචිතය: මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා) සොනාල් දිනූෂ, පවන් රත්නායක, චමිඳු විජේසිංහ, දුශාන් හේමන්ත, අශාන් ප්‍රියංජන්, රනිත ලියනාරච්චි, ලසිත් අබේරත්න, ලහිරු සමරකෝන්, අභිශේක් ලියනාරච්චි, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්, නිමේෂ ගුණසිංහ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, වනිඳු හසරංග ද සිල්වා, කමිඳු මෙන්ඩිස්.

යාපනය කණ්ඩායම

යාපනය කණ්ඩායමේ මේ දක්වා ගමන් මඟේ දී වැඩි කාර්ය භාරයක් කළ පිතිකරු වන්නේ 24 හැවිරිදි දකුණත් පිතිකරු කසුන් අබේරත්න. ඔහු තරග 7ක ඉනිම් 6ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 241ක් ලබා තිබෙනවා.

කණ්ඩායමේ මෙරට සිටින ක්‍රීඩකයන් අතරින් ශතකලාභී රවිඳු ප්‍රනාන්දු යාපනය පිතිකරු ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන්කර ගෙන සිටිනවා. ඔහු අවසන් මහා තරගයේ දී හමුවෙන ප්‍රතිවාදී දඹුලු ක්‍රීඩකයන්ට එරෙහිව ලබා ගන්නා ලද ශතකය ද සමඟින් ලකුණු 191ක් ලබා සිටිනවා.

එම ලැයිස්තුවේ ඊට පසු අසුන වෙන් කරගෙන සිටින්නේ නායක ජනිත් ලියනගේ. ඔහු අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 187ක් ලබා සිටිනවා.

ඊට අමතර ව නවෝද් පරණවිතාන සහ ලහිරු මධුශංක ද පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වමින් මේ ලැයිස්තුවේ ඉහළ ස්ථාන අතර සිටිනවා.

පන්දු යවන්නන් අතරින් යාපනය කණ්ඩායමේ විශ්වාසවන්ත පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ දිලුම් සුදීර. 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන දිලුම් මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 13ක්. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන දිලුම් ඉනිම් 5ක දී පිටියට පිවිසෙමින් ලකුණු 94ක් ලබා සිටිනවා.

දකුණතින් වේගපන්දු යවන ලහිරු මධුශංක සහ ශිරාන් ප්‍රනාන්දු ප්‍රතිවාදීන්ගේ සිහින විනාශ කරන්නන් බවට පත් විය හැකියි. ඔවුන් මෙම තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ කඩුලු 10 බැගින් දවා ගනිමින්.

ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද යාපනය කණ්ඩායම වෙනුවෙන් වැදගත් මෙහෙවරක නිරත වනු ඇතැයි සිතිය හැකියි.

  • යාපනය කණ්ඩායමේ සංචිතය: ජනිත් ලියනගේ (නායක) කසුන් අබේරත්න, දිලුම් සුදීර, රවිඳු ප්‍රනාන්දු, ලහිරු මධුශංක, නිශාන් මධුශ්ක (කඩුලු රකින්නා), නවෝද් පරණවිතාන, ශිරාන් ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, රොන් චන්ද්‍රගුප්ත, රවීන් ද සිල්වා, කමේෂ් නිර්මාල්, අවිශ්ක තරිඳු, බිනුර ප්‍රනාන්දු, යසිරු රොද්‍රිගෝ, සමින්ද ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, සධීර සමරවික්‍රම.

දඹුල්ල කණ්ඩායමේ නිත්‍ය නායක වනිඳු හසරංග මෙන් ම යාපනය කණ්ඩායමේ නිත්‍ය නායක සධීර සමරවික්‍රම ද නවසීලන්ත තරග සංචාරයේ යෙදෙන බැවින් ඔවුන්ට මෙම තරගාවලියේ තරග කිහිපයක් ම අහිමි වූවා සේ ම අවසන් තරගය ද අහිමි වෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් පුරප්පාඩු වූ ආදේශක නායකයන් දෙදෙනා වන මිනෝද් භානුක සහ ජනිත් ලියනගේ තම කණ්ඩායම් මනාව හසුරුවමින් මේ තීරණාත්මක කඩඉමට රුගෙන විත් තිබෙනවා.

ඒ ගමනේ දී මෙම කණ්ඩායම් 2 මීට පෙර අවස්ථා 2ක දී එකිනෙකා හමුව ඇති අතර එම අවස්ථා දෙකේ දී ම ජයග්‍රහණ වාර්තා කිරීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම අතීත තරග ප්‍රතිඵල ඒ ආකාරයෙන් ම සටහන් තැබීමට දඹුලු ක්‍රීඩකයෝ මෙම තරගයේ දී ද උත්සාහ කරනු නොඅනුමානයි.

නමුත් පෙර වැරදි නැවත නැවතත් සිදු නොකිරීමට යාපනය ක්‍රීඩකයෝ ද වගබලා ගනු ඇතැයි විශ්වාස කෙරෙන බැවින් මෙම තරගය වඩාත් උණුසුම් වෙනු ඇතැයි සිතිය හැකියි.

ජාතික සුපිරි එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරතාව වෙනුවෙන් සටන් වදින දඹුලු සහ යාපනය කණ්ඩායම් ද්විත්වයට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් ම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<