සවිරු සහ රවීන් 46 වැනි සුලෝහිත එක්දින සංග්‍රාමයට සීරුවෙන්

සවිරු සහ රවීන් 46 වැනි සුලෝහිත එක්දින සංග්‍රාමයට සීරුවෙන්

1881

පී. ද එස්. කුලරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් 46 වැනි වරටත් පැවැත්වෙන කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලාන්තර වාර්ෂික එක්දින තරගය මේ මස 3 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගයේ කණ්ඩායම් දෙකේ නායකයන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන පළපුරුදු ක්‍රීඩකයන් වීම හේතුවෙන් තරගය වඩාත් උණුසුම් වෙනු ඇතැයි විශ්වාස කළ හැකි. ඔවුන් දෙදෙනා ම පසුගිය පාසල් ක්‍රිකට් තරග වාරයේ දී තම කණ්ඩායම් වෙනුවෙන් වඩාත් ප්‍රශංසනීය සේවයක් කිරීම කැපී පෙනුණා.

කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම දකුණත් පිතිකරු සහ දකුණතින් පිට දඟපන්දු යවන සවිරු බණ්ඩාර විසින් මෙහෙය වන අතර නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම දකුණත් පිතිකරු සහ දකුණතින් පා දඟපන්දු යවන රවීන් ද සිල්වා විසින් මෙහෙයවනු ලබයි.

ඉතිහාසය

1924 වසරේ දී ආරම්භ වන සුලෝහිත සංග්‍රාමයේ පළමු එක්දින සංග්‍රාමය සංවිධානය වන්නේ 1975 වසරේ දී යි. එතැන් සිට වසර 45ක ඉතිහාසයක් හිමි මෙම තරග මාලාවේ ආනන්ද විද්‍යාලය තරග 26ක් ද, නාලන්දා විද්‍යාලය තරග 15ක් ජයග්‍රහණය කර ඇත. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 4ක්.

කණ්ඩායම් දෙක අතර පැවති පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ 1975 වසරේ දී යි. ඒ වසරේ ආනන්ද නායකයා ලෙස සිදත්  වෙත්තිමුණි කටයුතු කළ අතර අනුර රණසිංහ නාලන්දා නායකයා වුනා. එම තරගයෙන් ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආනන්ද විද්‍යාලය සමත් වුනා.

එතැන් සිට ගෙවී ගිය තරගවලින් පැවති ආසන්නත ම අවසන් වසර ත්‍රිත්වයේ ජයග්‍රහණ නාලන්දා ක්‍රීඩකයෝ සතු කර ගැනීම කැපී පෙනෙනවා. ඔවුන්ගේ ජයග්‍රාහී අවසන් නායකයා වන්නේ 2019 වසරේ නායක ලක්ෂිත මානසිංහ. ඔහුගේ ප්‍රතිවාදි නායකයා වූයේ කමේෂ් නිර්මාල්.

ආනන්ද විද්‍යාලය මෙම තරග මාලාවේ අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 2016 වසරේ දී. ඒ නිසල් ෆ්‍රැන්සිස්කෝ ගේ නායකත්වය යටතේ දී. ඔහුගේ ප්‍රතිවාදී නායකයා වූයේ දසුන් සෙනෙවිරත්න.

එමෙන් ම මෙවර නිමා වූ පාසල් ක්‍රිකට් වාරයේ දී දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ ආනන්ද නායක සවිරු බණ්ඩාර තමන්ට මෙතෙක් ඉටු කළ නොහැකි යුතුකම් මේ තරගයේ දී ඉටු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීමත් සහ පසුගිය දා නිමා වූ සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ වීරයා වෙමින් සේ ම මීට වසරකට පෙර අවසන් වූ වාර්ෂික එක් දින තරගයේ ද තරගයේ වීරයා වෙමින් පෑ දක්ෂතා තවදුරටත් වලංගු කර ගැනීමට නාලන්දා නායක රවීන් ද සිල්වා මෙවර ද උත්සාහ කරනු ඇත.

එබැවින් මෙන් ම 2020 වසරේ දී මෙම වාර්ෂික එක්දින තරගය නොපැත්වුණ බැවින් මෙම තරගය පෙර වසරවලට වඩා වඩාත් තරගකාරී වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

ආනන්ද විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ Tier B කොටස නියෝජනය කළ ආනන්ද ක්‍රීඩකයෝ තරග 3ක් ජයග්‍රහණය කරමින් තරග 2ක් පරාජය වුනා.

එහි දී ඔවුන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 125ක ජයක්, කටුගස්තොට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ලකුණු 28ක ජයක් සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ලකුණු 87ක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙතින් ලකුණු 206ක සහ කොළඹ සහිරා විද්‍යාලය වෙතින් කඩුලු 7ක පරාජයන් ලබමින් ඔවුන්ගේ මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ ගමන නිමා වෙනවා.

තරගාවලියේ වඩාත් කැපී පෙනෙන ආනන්දනීය ක්‍රීඩකයා වූයේ නුශාල් ධර්මරත්න. මෙවර එක්දින තරග වාරයේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව පන්දු 158කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 11ක් සමඟින් ලකුණු 174ක් ලබා ගත් ඉනිම නුශාල්ගේ මෙන් ම ආනන්ද කණ්ඩායමේ ද පෞද්ගලික හොඳම ඉනිම බවට පත් වුනා.

ඊට අමතර ව නෙත්ම කරුණාරත්න ද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් රැස් කරන ලද ලකුණු 100 මෙන් ම කටුගස්තොට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකය හේතුවෙන් ද නෙත්ම ද කණ්ඩායමේ වඩාත් තරගකාරී පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය පත්ව සිටිනවා.

කණ්ඩායමේ අනෙක් ශතකලාභියා වූයේ මිනෙත් ප්‍රේමරත්න. ඔහු ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා.

ඔහු ඊට අමතර ව මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට ද එරෙහිව අර්ධ ශතකයක් ලබා ගනිමින් පිතිකරුවෙක් ලෙසින් විශ්වාසය දිනා ගන්නවා. කඩුල්ල පිටුපස සිටිමින් ද ප්‍රශංසනීය සේවයක් කරන්නට මිනෙත් අමතක කරන්නේ නැහැ.

ඔවුන්ට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන හංසජ ජයසිංහ ද ආනන්දනීය ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් ම සිටිනවා. ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකයත් මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ලකුණු 23කට ලබා ගත් කඩුලු 5ත් ඔහුගේ දක්ෂතා අතර ප්‍රමුඛයෙන් ම කියැවෙනවා.

ඔහුට අමතරව පුළිඳු කිරිඇල්ල, ශක්ති උදාර සහ ඉසුර අයේෂ් ද පන්දු යවන්නන් ලෙසින් ආනන්දය වර්ණවත් කිරීමට සූදානමින් සිටිනවා.

ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම: සවිරු බණ්ඩාර (නායක) මිනෙත් ප්‍රේමරත්න, නෙත්ම කරුණාරත්න, නුශාල් ධර්මරත්න, ලක්ෂිත කුලරත්න, හංසජ ජයසිංහ, ශක්ති උදාර, ඉසුරු අයේෂ්, නෙත්ම සමරවීර, මලීෂ පෙරේරා, දුලින් එදිරිමාන්න, යෙහාන් ගුණසිංහ, අයේෂ් ශෂිමාල්, පුලිඳු කිරිඇල්ල, විදුණ විජේබණ්ඩාර, සචින් ජයසිංහ, රචල අතපත්තු, දිනද අත්ලගේ

නිලධාරීන්: ඩී. එම්. එල්. පී. දිසානායක මහතා (විදුහල්පති) ජී. ඒ. ආර්. එල්. පෙරේරා මහතා (නියෝජ්‍ය විදුහල්පති) ජී. එස්. කිරිහේන මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) ප්‍රීති අබේගුණසේකර මහතා (ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය) තරංග ලියනපතිරණ මහතා (ප්‍රධාන පුහුණුකරු) අසංක චන්දිමාල් මහතා (සහාය පුහුණුකරු)

නාලන්දා විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A කොටස නියෝජනය කළ නාලන්දා විද්‍යාලය එම තරගාවලියේ පළමු වටයේ තරග අවසන් කළේ අපරාජිත ව සිටිමින්.

එහි දී ඔවුන් කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලකුණු 33ක ජයක්, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයක්, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ලකුණු 251ක ජයක්, කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 23ක ජයක් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 75ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

නමුත් අර්ධ අවසන් පූර්ව වටයේ දී පැවති කඳාන ද මැසිනෝද් විද්‍යාලය සමඟ තරගයේ දී කඩුලු 8ක පරාජයක් ලැබූ ඔවුන් එම ගමන එතැනින් නිමා කර ගත්තා.

නිමා වූ පාසල් තරග වාරයේ දී වඩාත් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූයේ නාලන්දා නායක රවීන් ද සිල්වා. ඔහු එම තරගාවලිය අවසන් කළේ ශතකයක්, අර්ධ ශතක දෙකක් සහ දක්ෂ පන්දු යැවීම් ඉනිම් කිහිපයක් ම වාර්තා කරමින්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 104 ඔහුගේ මෙවර පාසල් තරග වාරයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වුනා.

ඔහුට අමතරව නාලන්දාව වෙනුවෙන් ශතක වාර්තා කළ අනෙක් ක්‍රීඩකයා වන්නේ විනුජ රන්පුල්. ඔහු ද තම ශතකය වාර්තා කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා. ඊට අමතරව ඔහුගේ ගිණුමට අර්ධ ශතකයක් ද ඇතුළත්. පන්දු යැවීමේ දී දැක්වූ දක්ෂතා ඔහුගේ පෞද්ගලික ගිණුම වර්ණවත් කරනවා.

නාලන්දා ඉනිම ශක්තිමත් කරන තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් වඩාත් නායකයා පසුව වඩාත් විශ්වාස දිනා සිටින්නේ උපනායක දිනෙත් සමරවීර කෙරෙහියි. පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක ඉනිමක හිමිකම් කියන ඔහු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ලකුණු 14කට කඩුලු 6ක් දවා ගනිමින් පෑ දක්ෂතා ඔහුගේ මෙන් ම මෙවර තරගාවලියේ නාලන්දියන්ගේ හොඳම පන්දු යැවීම් ලෙසින් ද වාර්තා වෙනවා.

ඊට අමතරව පිතිකරුවෙක් ලෙසින් යසිරු සමරකොන් පසුගිය පාසල් තරග වාරයේ දී දැක්වූ දක්ෂතා ද මෙම තරගයේ දී වඩාත් වැදගත් වෙනු ඇත.

පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක්වූ ලිසුර සිගේරා, මිනෝද් කල්දේරා සහ එරංග ජයකොඩි ද මෙම තරගයේ දී තම දක්ෂතා එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම: රවීන් ද සිල්වා (නායක) දිනෙත් සමරවීර, රෂාන් දිසානායක, නිකිල් අබේගුණසේකර, යසිරු සමරකෝන්, ලිසුර සිගේරා, මිනෝද් කල්දේරා, එරංග ජයකොඩි, සචින් ඉමදූව, චනුල් අතුකෝරල, විනුජ රන්පුල්, වෙනුර නිසලිත, සජිත විතානගේ, කුශ්මිත සිල්වා, නවෝද්‍ය නවාංජන, රසිරු විලෝචන

නිලධාරීන්: තිලක් වත්තුහේවා මහතා (විදුහල්පති) අජිත් වික්‍රම මහතා (නියෝජ්‍ය විදුහල්පති) මහේෂිකා විජේරත්න මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති) එම්. එම්. ජේ. මාරසිංහ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) සමන් හෙට්ටිආරච්චි මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) ප්‍රසන්න දහනායක මහතා (ප්‍රධාන පුහුණුකරු) රුවන් දිසානායක මහතා (සහාය පුහුණුකරු)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම විසින් බලගන්වනු ලබන මෙම තරගය ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 140 සහ ThePapare.com ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙන අතර තරගයේ උණුසුම් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<