ඉන්දීය යෞවනයාට සමාජ මාධ්‍ය ඔස්සේ වර්ගවාදී ප්‍රහාර

ආසියානු කුසලානය 2022

3764

පාකිස්තානයට එරෙහිව පසුගිය ඉරිදා (4) පැවති ආසියානු කුසලානයේ තරගයේ දී උඩ පන්දුවක් අතහැරීම නිසා ඉන්දීය ක්‍රීඩක Arshdeep Singhට සමාජ මාධ්‍ය ඔස්සේ වර්ගවාදී අදහස් ඉස්මතු වන සේ ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් Arshdeep Singhගේ සහයට පැමිණි හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sachin Tendulkar ඉන්දීය ක්‍රිකට් රසිකයින්ට පවසා සිටින්නේ, “ක්‍රීඩකයින්ට පෞද්ගලික ලෙස ප්‍රහාර එල්ල නොකළ යුතු බවයි.”

“සෑම ක්‍රීඩකයෙක්ම තමන්ගේ රට නියෝජනය කරමින්, රට වෙනුවෙන් උපරිමය දෙන්නයි උත්සාහ කරන්නේ. අපි ඔවුන්ට නිරන්තරයෙන්ම සහයෝගය දිය යුතුයි. ක්‍රීඩාවේ දී ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද උරුම වන බව අපි වටහා ගත යුතුයි. ක්‍රිකට් වගේම අනිත් ඕනෑම ක්‍රීඩාවක දීත් අපි ක්‍රීඩකයින්ව ඉලක්ක කරගෙන පහ‍ර දීම් නොකළ යුතුයි. ඒ වගේම Arshdeep ඔබත් ඉදිරියට කැපවීමෙන් ක්‍රීඩා කරන්න, මේ එල්ල වෙන චෝදනාවලට ක්‍රීඩා පිටියේ දී පිළිතුරු ලබා දෙන්න. ඔබට ශක්තියක් වෙමින්, ඔබ වෙනුවෙන් අපි ඔබේ පිටුපසින් ඉන්නවා. මගේ සුබ පැතුම්,” ‍ලෙස Twitter පණිවිඩයක් මගින් Tendulkar මේ බව ප්‍රකාශ කර සිටියා.

පසුගිය ඉරිදා පාකිස්තානයට එරෙහිව ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ පැවති දෙවැනි තරගයේ දෙවැනි ඉනිමේ 18 වැනි පන්දුවාරය යොමු කළ Ravi Bishnoiගේ පන්දුවකට, පාකිස්තාන පිතිකරු Asif Ali විසින් ලබා දුන් පහසු උඩ පන්දුවක් Arshdeep singh අතින් ගිලිහී ගිය අතර එය පාකිස්තානයේ ජයග්‍රහණය තහවුරු වීමට ප්‍රබල හේතුවක් වුනා.

කෙසේ වෙතත් තරගයේ 20 වැනි පන්දුවාරය යොමු කිරීමට ලැබුණු Arshdeep විසින් ඉතා හොඳින් පන්දුව පාලනය කරමින් පාකිස්තාන පිතිකරුවන්ට පීඩනය එල්ල කිරීමට සමත් වූව ද, ඔහුට ආරක්ෂා කිරීමට තරම් ලකුණු ප්‍රමාණයක් ඒ වන විට ඉතිරිව නොතිබුණි. එයට ප්‍රධාන හේතුව වූයේ 19 වැනි පන්දුවාරය යොමු කළ Bhuwaneshwar Kumar විසින් පාකිස්තානයට ලකුණු 19ක් ලබා දී තිබීම නිසායි.

එමෙන්ම ඊයේ (06) පැවති ඉන්දීය ශ්‍රී ලංකා තරගයේ දී ද 19 වැනි පන්දුවාර යවමින් Bhuwaneshwar විසින් ශ්‍රී ලංකාවට තිබූ පීඩනය ලිහිල් කළ අතර අවසන් පන්දුවාරය යැවීමට පැමිණි Arshdeep විසින් නැවත වරක් ඉතා විශිෂ්ට ලෙස පන්දු යොමු කරමින් ශ්‍රී ලාංකික පිතිකරුවන් පාලනය කිරීමට සමත් වුව ද, ඒ වන විටත් ඉන්දියාවෙන් තරගය ගිලිහී ගොස් තිබූ නිසා එම උත්සාහය අපතේ ගියා.

පාකිස්තාන තරගයේ දී උඩ පන්දුව අත්හැරීමෙන් පසුව ඉන්දීය ප්‍රේක්ෂකයින් විසින් දැඩි ලෙස අපවාද නගන Arshdeep Singhගේ විකිපීඩියා පිටුවට ඇතුළු වූ එක් ඉන්දියානුවෙක් එහි ඇති සටහන් වෙනස් කර තිබුණු බව Times of India වාර්තා කරනවා.

එහි දී ඔහුගේ උපන් ගම Khalistan Punjab ලෙස සහ ඔහුගේ ජාතිය “Khalistani” ලෙස වෙනස් කර තිබුණා. මෙය ඉතාමත් දැඩි වර්ගවාදී පහර දීමක් ලෙස සැලකිය හැකි. විශේෂයෙන්ම ඉන්දියාවේ ජීවත් වන “සීක්” ජාතීන්ට වෙනම ම ප්‍රාන්තයක් වෙන් කර ගැනීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම Khalistan යන වචනය බිහි වී ඇති අතර එය ඉතාම දිගු ඉතිහාසයකට හිමිකම් කියන සිදු වීමක්.

ක්‍රිකට් තරගයට කිසිසේත්ම අදාළ නොවූ මෙය Arshdeep Singhව අපහසුතාවයට පත් කිරීමට සහ ඔහුට අපවාද එල්ල කිරීමේ අදහසින් මෙන්ම වර්ගවාදී හැඟීම් කුපිත කිරීම සඳහා උලුප්පා දක්වා ඇති බව ප්‍රත්‍යක්ෂයි.

එමෙන්ම ඔහුගේ සැබෑ නම Major Arshdeep Singh Bajwa ලෙස වෙනස් කිරීමක් ද සිදු කර ඇති අතර, එය ද Arshdeepට වර්ගවාදී ලෙස ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයක් ලෙසයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වෙතත් මේ වන විට එම සියලු වැරදි විකිපීඩියා හී නැවත නිවැරදි කර තිබෙනවා.

මේ පිළිබඳ විශේෂ Twitter පණිවිඩයක් තැබූ හිටපු ඉන්දීය දඟපන්දු යවන්නකු වූ Harbhajan Singh පවසා සිටියේ කිසිවකු හෝ හිතා මතා උඩපන්දු අත් නොහරින බවත්, මෙවැනි බාල මට්ටමේ ප්‍රකාශ නිකුත් කිරීම ලැජ්ජාවට කරුණක් බවයි.

එමෙන්ම පාකිස්තාන ක්‍රීඩක Mohammed Hafeez විසින් ද මෙම සිදුවීම් හෙලා දකිමින් Twitter ප්‍රකාශයක් නිකුත් කර තිබුණ අතර සුපිරි ඉන්දීය පිතිකරු Virat Kholi විසින් ද Arshdeep වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දක්වා තිබුණා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<