ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

341

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (8) ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර සාජා හිදී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් තියුණු සටනකට පසුව එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.

ඒ අනුව ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියෙන් ඉවතට අද දමමින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය අසුන් වෙන් කරගත්තා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ඇෆ්ගනිස්ථානය – Hazratullah Zazai, Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Najibullah Zadran, Mohammad Nabi (capt), Karim Janat, Rashid Khan, Azmatullah Omarzai, Fareed Ahmad, Mujeeb-ur-Rahman, Fazalhaq Farooqi.
  • පාකිස්තානය – Babar Azam (capt), Mohammad Rizwan (wk), 3 Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Shadab Khan, 7 Asif Ali, Mohammad Nawaz, Naseem Shah, Haris Rauf, Mohammad Hasnain

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා. එහි දී Ibrahim පන්දු 37ක් තුල ලකුණු 35ක් ලබාගෙන ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු අතර ආරම්භක පිතිකරු Hazratullah ලකුණු 21ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

ඇෆ්ගන් පසුපෙළ සවිමත් කරමින් දස්කම් දැක්වූ Rashid 4 පහර 2ක් සහ 6 පහරක් සමඟ නොදැවී ලකුණු 18*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක Rauf ලකුණු 26කට කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ඇෆ්ගනිස්ථානය මේ තරගයේ Powerplay අවස්ථාව තුල කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබාගෙන යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගත් නමුත්, පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසාවෙන් ඔවුන්ට අවසන් පන්දුවාර 14 තුල කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 81ක් පමණයි.

කෙසේ නමුත් සාජා තණතීරුව වැනි පන්දු ඉපිලීම අඩු තණතීරුවක ලකුණු 130 ඉලක්කය සඳහා හොඳ අභියෝගයක් ලබා දීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් වුනා.

ඇෆ්ගනිස්ථාන පන්දු යැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට සිය Powerplay අවස්ථාව තුල කඩුලු 2ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 35ක් පමණයි. පන්දුවාර 8කුත් පන්දු 4ක් අවසානයේ ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගැනීමට Farooqi ඇතුළු ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් වුනේ තරගයේ පාලනය සියතට ගනිමිනුයි.

ඉන් අනතුරුව Iftikhar සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ Shadab Khan පන්දු 41ක් තුල ලකුණු 42ක් ලබාගෙන දැක්වූ පිතිකරණ සබඳතාවය නිසාවෙන් තරගය ඉතාමත් උණුසුම් මට්ටමකට පැමිණියා.

කෙසේ නමුත් පන්දුවාර 19ක් වන විට පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 119ක් ලබාගෙන සිටි අතර අවසන් පන්දු 6 තුල ලකුණු 11ක් පාකිස්තානයේ ඉලක්කය වුනා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් තරගාවලිය පුරාවට වේගපන්දුවෙන් දස්කම් දැක්වූ Farooqi යොමු කළ අවසන් පන්දුවාරයේ පළමු ෆුල් ටොස් පන්දු 2කටම 6 පහර 2ක් එල්ල කරමින් Naseem Shah පාකිස්තානය ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් Shadab Khan පන්දු 26කින් ලකුණු 36ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම 4 පහරකින් සහ 6 පහර 3කින් වර්ණ ගැන්වුනා.

  • ඇෆ්ගනිස්ථානය – 129/6 (20): Ibrahim Zadran 35, Hazratullah Zazai 21, Rashid Khan 18*, Haris Rauf 2/26
  • පාකිස්තානය – 131/9 (19.2): Shadab Khan 36, Iftikhar Ahmed 30, Mohammad Rizwan 20, Fazalhaq Farooqi 3/31, Fareed Ahmad 3/31.

පාකිස්තානයට කඩුල්ලක තියුණු ජයක්

තරගයේ වීරයා – Shadab Khan (පාකිස්තානය)

ඒ අනුව 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම අවසන් මහා තරගයේ සිය අසුන් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමත් වුනා.

ඔවුන් අවසන් වරට ආසියානු කුසලාන අවසන් මහා තරගයක එකට මුණගැසුණේ 2014 වසරේ දී වන අතර එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගන්නට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<