නවක ක්‍රීඩකයාගේ සහයට ආ Virat Kohli

ආසියානු කුසලානය 2022

1174

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතරේ තරග වටයේ දෙවැනි තරගය ලෙස ඊයේ (4) ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් කඩුලු පහක පරාජයකට හිමිකම් කියන්නට ඉන්දියාවට සිදු වුනා.

මීට පෙර මූලික වටයේ දී ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ වාතාවරණයක දී ඇරඹුණු මේ තරගයේ දීත් පාකිස්තානයට විශාල අභියෝගයක් එල්ල කරමින් තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 181ක් රැස් කිරීමට ඉන්දියාව සමත් වුනා.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ පාකිස්තානය වෙනුවෙන් නැවතත් අගනා ඉනිමක් දියත් කළ Mohammad Rizwan පන්දු 51කින් ලකුණු 71ක් රැස් කරද්දී, පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් ලබමින් අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසි Mohammad Nawaz ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වෙමින් පන්දු 20කින් ලකුණු 42ක් ලබා ගැනීම නිසාවෙන් ඉන්දියාවට කඩුලු පහක පරාජයක් උරුම වුනා.

කෙසේ වෙතත් පාකිස්තාන ඉනිමේ 17 වැනි පන්දුවාරය වන විට Mohammad Rizwan සහ Mohammad Nawaz ක්‍රීඩාගාරය වෙත හරවා යවා තිබූ ඉන්දියාව තරගය දෙපිලටම විවෘත එකක් බවට පත් කර ගැනීමට සමත් වී තිබුණා.

එවැනි වාතාවරණයකදී  18 වැනි පන්දුවාරයේ දී පිතිකරණයේ නියැලෙමින් සිටි Asif Ali විසින් ලබා දුන් ඉතාමත් පහසු උඩ පන්දුවක් ඉන්දීය ක්‍රීඩක Arshdeep Singh අතින් ගිලිහී යනවා. එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත් Asif Ali විසින් ඊළඟ පන්දුවාරයේ දී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණයේ වැඩි වාසි පාකිස්තානය දෙසට යොමු කර ගැනීමට සමත් වුනා.

Arshdeep Singhගේ මෙම දුර්වල පන්දු රැකීම තරගයේ පරාජයට හේතු වූ බව පවසමින් ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් ඔහුට දෝෂාරෝපණ එල්ල වන වටපිටාවක තරගයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli, Arshdeepගේ සහයට පැමිණෙනවා.

“ඒ වගේ තරගයක තීරණාත්මක මොහොතක, කාගේ අතිනුත් අඩු පාඩු සිද්ධ වෙන්න පුළුවන්, මට මතකයි මගේ පළවෙනි ශූරයින්ගේ කුසලාන තරගාවලියේ (Champions Trophy) පළවෙනි තරගය තිබුණේ පාකිස්තානයත් එක්ක. මම Shahid Afridiගේ පන්දුවකට ඉතාම දුර්වල පහරක් එල්ල කරලා දැවී ගියා.

පහුවැනිදා උදේ පහේ හෝරාව වෙද්දිත් මම ඇඳේ හාන්සි වෙලා වහලේ සීලිම දිහා ඔහේ බලාගෙන හිටියේ, මට එක තත්පරයක් නින්ද ගියේ නෑ. මම හිතුවේ මගේ ක්‍රීඩා ජීවිතේ එතනින්ම ඉවර වෙලා යාවී කියලා, ආයේ කවදාවත් සෙල්ලං කරන්න චාන්ස් එකක් නොලැබේවි කියලා. මේවා සාමාන්‍ය දේවල්, හෙට අපි හැමෝම එකා වගේ එකට ආයෙත් සෙල්ලං කරනවා, කණ්ඩායම ඔබත් එක්ක ඉන්නවා. ඔබ මේ දේවල් වලට පුරුදු වේවි.”

Arshdeep වෙනුවෙන්, ඔහුගේ පැත්තෙන් සිට ගත් Virat Kohli එලෙස අදහස් දක්වා සිටියා.

තවදුරටත් ඉන්දීය කණ්ඩයමේ නායකයා ලෙස Rohit Sharma විසින් ඉටු කරන කාර්‍ය භාර්යය ද Kohli විසින් අගයනු ලැබුවා.

“අපේ නායකයාට වගේම, කණ්ඩායමේ කළමනාකාරිත්වයටත් මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් කණ්ඩායම ඇතුළේ ඕනෑම ක්‍රීඩකයෙකුට ආරක්ෂාකාරී බවක් දැනෙන වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා. ඔබ අතින් අඩු පාඩු සිදු වේවි, ඔබ ඒ වැරදිවල අඩුපාඩු බාර ගෙන, ඒ වගේම අවස්ථාවක ආයෙත් ඒ විදිහේ වරදක් නොවෙන තැනට වග බලාගත යුතුයි.”

මෙසේ අදහස් පල කළ Virat විසින් ඊයේ දිනයේ දී තමන්ගෙන් ගිලිහී යමින් තිබූ රිද්මය නැවත ඔහු සොයා ඇවිත් ඇති බවට ඉඟි පල කරමින් පන්දු 43කින් ලකුණු 60ක් ලබා ගැනීමට ද සමත්කම් දැක්වූවා.

ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව මුහුණ දෙන මීළඟ තරගය ශ්‍රී ලංකාව සමඟින් හෙට (06) පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<