Home Sinhala Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති!

Lions පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලි ජය සමරති!

828

එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට අද (21) ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකි වුනා. ඒ තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් පහසුවෙන් ජය ගැනීමත් සමඟයි.

අද පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ Lions කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් දෙවරක් නොසිතාම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් එය ‘පරාජය වීමට සුදුසු’ කාසියේ වාසියක් ලෙස හැඳින්විය හැක්කේ වැඩිකල් යන්නට පෙරම එංගලන්ත පිතිකරුවන්ට එම තීරණය වෙනස් කර ගැනීමට හැකි වූවා නම්  සියදිවි නසා ගැනීමක් ලෙස දැනුණු නිසයි.

ශ්‍රී ලංකාව අද තරගය වෙනුවෙන් අත්හදා බැලූ ඉසිත විජේසුන්දර ශ්‍රී ලංකාවට පළමුවෙන්ම වාසනාව ගෙන ආවේ Jack Haynes ලකුණු 13කට ක්‍රීඩාගාරයට හරවා යවමින්. ඉන්පසු පිටියට පිවිසි නායක Sam Hainට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට සහන් ආරච්චිගේ ඉඩ තැබුවේ නැහැ.

දෙවැනි තරගයේ හොඳ ඉනිමක් ක්‍රීඩා කළ Tom Prest අද ලකුණු 12කට දැවී ගියා. ඒ දුනිත් වෙල්ලාලගේ යැවූ පන්දුවකට කඩුලු රකින සදීර සමරවික්‍රම අතට උඩපන්දුවක් ලබා දෙමින්. එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙන අතරේ අනෙක් අන්තය ආරක්ෂා කරගෙන සිටි Jacob Bethell සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාම ශ්‍රී ලංකාවට මෙහෙයුම තවදුරටත් පහසු කර දුන්නා.

පන්දු 67කට මුහුණ දුන් Bethel අර්ධ ශතකය වාර්තා කළ විගස දැවී යන විට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා. ඔහුගේ කඩුල්ලට හිමිකම් කීවේ සුමින්ද ලක්ෂානුයි. එංගලන්තය අද දුශාන් හේමන්තට එරෙහිව දැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ඔහුට කඩුලු දවා ගැනීම ආරම්භ කිරීමට සිදු වුනේ සෑහෙන ප්‍රමාදයකින් පසුවයි.

එංගලන්ත කඩුලු රකින පිතිකරු James Rew දවා ගනිමින් ආරම්භ කළ කඩුලු දඩයම දුශාන් ලකුණු 27ට කඩුලු 3ක් දවා ගනිමින් අවසන් කළා. එහි දී එංගලන්ත පිතිකරුවන් ඔහුගේ විශිෂ්ට පා දඟපන්දු යැවීම ඉදිරියේ පන්දුවාරයකට ලබා ගත්තේ ලකුණු 2.7 බැගිනුයි.

එංගලන්ත ඉනිම අද පන්දුවාර 45ක් අවසානයේ ලකුණු 166කට අවසන් වුනේ ශ්‍රී ලංකාවට තරගයේ සම්පූර්ණ පාලනය ලබා දෙමිනුයි. දුශාන්ට අමතරව වේගපන්දු යවන්නෙකු වශයෙන් ඉතා ඉහළ දක්ෂතා පෙන්නුම් කළ ඉසිත විජේසුන්දර ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණා.

ලකුණු 167ක පහසු ඉලක්කයක් හඹා ගොස් තරගාවලි ජය මුද්‍රා තැබීමේ අටියෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමට එය සිතූ තරම් පහසු ඉලක්කයක් වුනේ නැහැ. නුවනිඳු ප්‍රනාන්දු අද එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ තරමක දෙගිඩියාවක් පෙන්නුම් කළා.

Tom Hartleyගේ පන්දුවාරයක දී එම පීඩනයෙන් මිදී හතරේ පහර 2ක් එල්ල කළ නුවනිඳු අවසානයේ තෙවැනි හතරේ පහරටත් කුරුමානම් අල්ලද්දී උඩපන්දුවක් ලබා දී දැවී ගියා. ඒ ලකුණු 10කටයි. මීළඟ පන්දුවාරයේ දී අනෙක් ආරම්භක පිතිකරු වූ ලසිත් කෲස්පුල්ලේ (18) දැවී යන්නේ Saqib Mahmood එල්ල කළ වේගපන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

එතැන් පටන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩ නැගීමට ලහිරු උදාර සහ නිපුන් ධනංජය සමත් වුනා. ලහිරු උදාර ස්වීප් පහර අනර්ඝ ලෙස එල්ල කරමින් හොඳ ආරම්භයක් ලබා ගත් නමුත් අවසානයේ Mason Craneගේ පන්දුවක් පා ආවරණයේ දැවටී දැවී යන විට ලකුණු 21ක් ලබා සිටියා. නායක සදීර ලකුණු 23ක් ලබා ගත්තේ පන්දු 29කට මුහුණ දෙමිනුයි.

ශ්‍රී ලංකාවට දීර්ඝ පිතිකරණ ගැඹුරක් තිබීමත්, අවසන් ඉලක්කය කල් තබාම දැන සිටීමත් නිසා මෙම අතරින් පතර කඩුලු බිඳ වැටීම ශ්‍රී ලංකාවට ගැටලුවක් ගෙන ආවේ නැහැ. ඔවුන් පහසුවෙන්ම අදාළ ඉලක්කය පසු කර යන විට අවසන් වී තිබුණේ පන්දුවාර 32.1ක් පමණයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය අද තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනේ පන්දු 76කින් නොදැවී ලකුණු 65ක් රැස් කරමින්. නිපුන්ගේ ඉනිම හතරේ පහර 4කින් හැඩවුනා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 101ට කඩුලු 4ක් බිඳ වැටුණු මොහොතේ සිට ජයග්‍රහණය දක්වාම නිපුන් සමඟ එකට සිටි සහන් ආරච්චිගේ තරගය නිමා වන විට නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

Result


Sri Lanka A Team
167/4 (32.1)

England Lions
166/10 (45)

Batsmen R B 4s 6s SR
Jacob Bethell c Nuwanidu Fernando b Suminda Lakshan 50 67 4 1 74.63
Jack Haynes c Sadeera Samarawickrama b Isitha Wijesundera 13 16 3 0 81.25
Sam Hain c Kavishka Anjula b Sahan Arachchige 3 10 0 0 30.00
Tom Prest c Sadeera Samarawickrama b Dunith Wellalage 12 26 0 0 46.15
James Rew c Dhananjaya Lakshan b Dushan Hemantha 15 47 0 0 31.91
Jordan Cox st Sadeera Samarawickrama b Suminda Lakshan 31 46 3 0 67.39
Tom Lammonby c Sadeera Samarawickrama b Isitha Wijesundera 6 20 0 0 30.00
Brydon Carse b Isitha Wijesundera 0 1 0 0 0.00
Tom Hartley c Nipun Dhananjaya b Dushan Hemantha 22 21 2 1 104.76
Saqib Mahmood st Sadeera Samarawickrama b Dushan Hemantha 1 4 0 0 25.00
Mason Crane not out 5 12 0 0 41.67


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 166/10 (45 Overs, RR: 3.69)
Bowling O M R W Econ
Kavishka Anjula 4 0 30 0 7.50
Isitha Wijesundera 7 1 14 3 2.00
Sahan Arachchige 8 0 37 1 4.62
Dunith Wellalage 7 0 33 1 4.71
Nuwanidu Fernando 2 0 4 0 2.00
Suminda Lakshan 7 0 20 2 2.86
Dushan Hemantha 10 1 27 3 2.70


Batsmen R B 4s 6s SR
Lasith Croospulle b Saqib Mahmood 18 19 3 0 94.74
Nuwanidu Fernando c Jordan Cox b Tom Hartley 10 17 2 0 58.82
Lahiru Udara lbw b Mason Crane 21 25 2 0 84.00
Nipun Dhananjaya not out 65 76 4 0 85.53
Sadeera Samarawickrama c Jack Haynes b Mason Crane 23 29 3 0 79.31
Sahan Arachchige not out 22 28 1 0 78.57


Extras 8 (b 0 , lb 0 , nb 1, w 7, pen 0)
Total 167/4 (32.1 Overs, RR: 5.19)
Bowling O M R W Econ
Saqib Mahmood 5 1 24 1 4.80
Tom Hartley 7.1 0 46 1 6.48
Jacob Bethell 6 1 21 0 3.50
Brydon Carse 5 0 25 0 5.00
Mason Crane 7 0 41 2 5.86
Tom Prest 2 0 10 0 5.00



අද තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී තරග තුනේම තරගයේ වීරයින් ප්‍රකාශයට පත් කෙරුණු අතර පළමු තරගයේ වීරයා ලෙස එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Saqib Mahmood, දෙවැනි තරගයේ වීරයා ලෙස පා දඟපන්දු යවන ක්‍රීඩක දුශාන් විමුක්ති සහ තෙවැනි තරගයේ වීරයා ලෙස වමත් පිතිකරු නිපුන් ධනංජය සම්මාන දිනා ගත්තා.

තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ මෙම තරගාවලියේ විශිෂ්ටම සොයා ගැනීම වූ පා දඟපන්දුවේ මෙන්ම ගුග්ලි පන්දුවේ ද තියුණු දඟ කැවීමක් සහිත 28 හැවිරිදි ක්‍රීඩක දුශාන් විමුක්තියි. ඔහු තරග 3 අවසන් වන විට එංගලන්ත කණ්ඩායමේ කඩුලු 11ක්ම බිඳ දමා අවසන්ව තිබුණා.

මේ අයුරින්ම ඉදිරියේ දී පැවැත්වෙන තරග තොරතුරු සියල්ල ඉක්මනින්ම දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<