වත්මන් යොවුන් ආසියානු ශූරියන් හමුවේ ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්

Asian Youth Netball Championship 2023

2947

12 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටය යටතේ මැලේසියාව හා තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 77-36ක් ලෙස අවාසනාවන්ත පරාජයක් උරුම කර ගැනීමට අද (16) සිදු වුනා.

දකුණු කොරියාවේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ පැවැත්වුණු තරග 4න් 3ක් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වූ නමුත්, පෙර තරග වල දී පෑ දක්ෂතාවන් අද දිනයේ දී වත්මන් ආසියානු යොවුන් දැල්පන්දු ශූරියන් ලෙස කිරුළු දරා සිටින (2019) මැලේසියාව හමුවේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනේ නැහැ.

මෙහි දී තරගයේ පළමු කාර්තුව තුල මැලේසියාව ලකුණු 16ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 06ක් පමණයි.

පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව ලද පසුබෑමෙන් පසු නැවත ප්‍රකෘති තත්වයට පැමිණීමේ අරමුණින් යුතු ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවන කාර්තුවේ දී තරගයට පිවිසුනත් ඔවුන්ට එවරත් සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

තරගයේ දෙවන කාර්තුව ද මුළුමනින් ම පාහේ සියතට ගත් මැලේසියාව විසින් ලකුණු 21ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනේ ලකුණු 8ක් පමණයි.

ඉන් පසුව ආරම්භ වූ තරගයේ තෙවන සහ සිව් වන කාර්තු වල දී ද ශ්‍රී ලංකාවට එතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට අවකාශය උදා නොවූ අතර ඔවුන් එම කාර්තු දෙක තුළ දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 22ක් පමණයි. නමුත් එම කාර්තු දෙක තුල මැලේසියා ක්‍රීඩිකාවන් විසින් පිළිවලින් ලකුණු 19ක් සහ 21ක් බැගින් තවත් ලකුණු 40ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය : මැලේසියාව 77-36 ශ්‍රී ලංකාව

මේ අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව මෙතෙකින් නිමා යනවා. කෙසේ වෙතත් තරගාවලියේ තෙවන සහ සිව් වන ස්ථාන තේරීම වෙනුවෙන් හෙට (17) ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමිතයි.

එමෙන්ම තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වූ මැලේසියාව සහ සිංගප්පූරුව මෙවර ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාව වෙනුවෙන් තරග වැදීමට හෙට දිනයේ ම තරග බිමට පිවිසීමට නියමිතයි.

එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<