චීන තායිපේ පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට!

Asian Youth Netball Championship 2023

1931

12 වැනි වරට පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ දී චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 83-17ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුනා.

මෙම මස 10 වැනිදා දකුණු කොරියාවේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කණ්ඩායම් හතරක් සමඟ තරග වැදීමට නියමිතව තිබුණා.

ඉන් පළමු තරග ද්විත්වය දකුණු කොරියාවට සහ බෲනායි දේශයට එරෙහිව පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ නමුත්, ඊයේ (13) සිංගප්පූරුව සමඟ පැවැත්වුණු තරගයේ දී ඔවුන්ට පරාජය වන්නට සිදු වුනා. එවන් වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩා කිරීමට නියමිත අවසන් තරගය සඳහා චීන තායිපේ කණ්ඩායම සමඟ අද සහභාගී වුනා.

තරගයේ පළමු කාර්තුවේ පටන් ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චීන තායිපේ ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර මුල් කාර්තුව නිමා වන විට ලකුණු 23-02ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වුනා.

තරගයේ දෙවැනි කාර්තුව තුල ද පෙර මෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වූ අතර එම කාර්තුවේ දී ඔවුන් තවත් ලකුණු 25ක් ලබා ගනිද්දී, චීන තායිපේ ලකුණු පුවරුවට එක් වුනේ ලකුණු 4ක් පමණයි.

එතැනින් පසුව හෝ චීන තායිපේ ක්‍රීඩිකාවන් හට කිසිදු ලෙසකින් තරගයට අවතීර්ණ වීමට ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් චීන තායිපේ ක්‍රීඩිකාවන්ට ඉතිරි කාර්තු දෙක පුරාවට ම ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ලකුණු 11ක් පමණයි. නමුත් එම කාර්තු දෙක තුල ශ්‍රී ලංකාව විසින් පිළිවෙළින් ලකුණු 18ක් සහ 17ක් බැගින් රැස් කරමින් තවත් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනා.

  • අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 83 – 17 චීන තායිපේ

ඒ අනුව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග 4න් තුනක් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සිකුරාදා (16) පැවැත්වීමට නියමිතයි.

මේ අයුරින් ම ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග විස්තර ද ඔබ හා බෙදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<