අඛණ්ඩව සිව්වැනි වරටත් හොකී ශූරතාවය නාලන්ද විදුහලට

614
16th Ananda - Nalanda Annual Hockey encounter

ආනන්ද සහ නාලන්ද විදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන “සුලෝහිත හොකී සංග්‍රාමය” 16 වැනි වරටත් අද (15) පැවැත්වූයේ කොළඹ ඇස්ට්‍රෝ ටර්ෆ් පිටියේ දීයි. එහි දී අඛණ්ඩව සිව්වැනි වරටත් ශූරතාවය ජයග්‍රහණය කරන්නට නාලන්ද විදුහල් ක්‍රීඩකයින් සමත් විය.

සුලෝහිත හොකි තරගයට ආනන්ද-නාලන්ද සහෝදරයෝ සූදානම්

පාසල් හොකී ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නොමැකෙන සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට සමත්වූ පාසල්…

තරගය ආරම්භයට පෙර ක්‍රීඩා පිටියට නොනවත්වා වර්ෂාව ඇද හැලෙමින් තිබුණ ද, තරගය ආරම්භ වීමෙන් අනතුරුව වර්ෂාවෙන් බාධා එල්ල නොවීය.

ආදී ආනන්දීය ජ්‍යේෂ්ඨ හොකී ක්‍රීඩකයෙකු සහ මලල ක්‍රීඩකයෙකු වන වෛද්‍ය ප්‍රසන්න දිනේෂ් ජයසේකර මහතා මෙවර හොකී තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වී සිටියේය.

උදුල රත්නායක විසින් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට ද, බෝධික ඩයස් විසින් නාලන්ද විද්‍යාලයීය කණ්ඩායමට ද මෙවර නායකත්වය ලබා දුන් අතර, නායකයින් දෙදෙනා අතරින් ඉහළ නැගි කාසියේ, වාසිය දිනා ගත් නාලන්ද නායකයා, ප්‍රථමයෙන් පන්දුව හැසිරවීමට තීරණය කළේය.

තරගයේ ආරම්භයේ පටන්ම දෙපිලෙන්ම උද්වේගකර ක්‍රීඩා විලාසයක් දැක ගැනීමට හැකි වූ අතර ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටිය තෙතබරිත ස්වාභාවයක් ගත් නිසාවෙන් ගෝල රැස් කර ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම දෙපිළටම අහිමි වී ගියේය.

කෙසේ වෙතත් තරගයේ ප්‍රථම භාගයේ ක්‍රියාත්මක වූ ආනන්ද කණ්ඩායමේ සන්දිල් රත්නිලාරච්චි තම කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය. එම ගෝලයත් සමඟ තරගයේ පීඩනය නාලන්ද විද්‍යාලය වෙත යොමු වුවත්, රවිඳු පැහැසර තරගයේ පළමු භාගය නිමා වීමට පෙර සිය පාසල වෙනුවෙන් පළමු ගෝලය රැස් කර ගැනීමත් සමඟ නැවතත් තරගය දෙපිළටම විවෘත විය.

ප්‍රථම අර්ධය: නාලන්ද විදුහල 01 – 01 ආනන්ද විදුහල

තරගයේ දෙවන අදියර ආරම්භ වීමත් සමඟ දෙපිළම ගෝල වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට ක්‍රීඩා කරන්නට විය.

වෙනදාට වඩා වැසිබර කාලගුණයක් තිබීම නිසාවෙන් පරිසරය අඳුරු වීමත්, පිටියේ තෙතබරිත ස්වාභාවයත් නිසා දෙවන බාගයේ දී ද දෙපිළටම ගෝල රැස් කර ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම අහිමි වී ගියේය.

කෙසේ නමුත් තරගයේ දෙවන භාගයේ දී කිසිදු කණ්ඩායමකට ගෝල රැස් කර ගැනීමට අවස්ථාවක් හිමි නොවූ නිසා දෙවැනි අර්ධය ගෝල 01-01ක් ලෙස නිමාවට පත්විය.

දෙවැනි අර්ධය: නාලන්ද විදුහල 01 – 01 ආනන්ද විදුහල

ලකුණු සමව නිමාවීම නිසාවෙන් අතිරේක කාලයකට තරගය දීර්ඝ කිරීමට නියමිතව තිබුණ ද, එ් අවස්ථාව වන විටත් ක්‍රීඩා පිටියේ තිබූ අඩු ආලෝක තත්වය නිසාවෙන් දඬුවම් පහර මගින් තරගයේ ජය පරාජය තීරණය කිරීමට තීරණය විය.

ඒ අනුව දෙපිළටම දඬුවම් පහර පහ බැගින් හිමි වූ අතර දඬුවම් පහරවල් පහෙන් හතරක් සාර්ථක කර ගැනීමට ආනන්ද විද්‍යාල කණ්ඩායම සමත් විය. නමුත් දඬුවම් පහර පහම සාර්ථක කර ගැනීමට සමත් වූ බෝධික ඩයස් ප්‍රමුඛ නාලන්ද විද්‍යාල කණ්ඩායම පිට පිට සිව්වන වරටත් 16 වන ආනන්ද-නාලන්ද සුලෝහිත හොකී සංග්‍රාමයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් හැකි විය.

දඬුවම් පහර වටය: නාලන්ද විදුහල 4/5 – 5/5

තරගය අවසානයේ කුසලාන හා සහතික පත්‍ර බෙදා දීමේ අවස්ථාවට සහභාගි වෙමින් ThePapare.com වෙත අදහස් දැක්වීමක නිරත වූ නාලන්ද විද්‍යාලයීය කණ්ඩායම් නායක බෝධික ඩයස් පවසා සිටියේ, තමා ප්‍රමුඛ කණ්ඩායම තරගයේ අවසානය තෙක් අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළ බවත්, මෙම ලබාගත් ජයග්‍රහණය තමාගේ කණ්ඩායමේ ජයග්‍රහණයක් පමණක් නොවන, තම කණ්ඩායම වෙත සහාය දැක්වූ පුහුණුකරු ඇතුළු සියලුම දෙනාගේම ජයග්‍රහණයක් වන බවත්ය.

ආනන්ද විද්‍යාල කණ්ඩායමේ නායක උදුල රත්නායක ද ThePapare.com සමඟින් අදහස් දක්වමින් පවසා සිටියේ, “මම ඇතුළු මගේ කණ්ඩායම නාලන්ද කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළා. නමුත් නාලන්ද විදුහල ජයග්‍රහණය කළා. කෙසේ වෙතත් ජය පරාජය එක සේ විඳ දරා ගැනීමට අපට හැකියාව තිබෙනවා. ඒවගේමයි මම නාලන්ද කණ්ඩායමට සුබ පතනවා ඔවුන්ගේ ජයග්‍රහණයට.”

අවසන් වශයෙන් ඔහු ආනන්ද-නාලන්ද සුලෝහිත හොකී සංග්‍රාමය සාර්ථකව අවසන් කිරීමට උපකාරී වූ සියලුම දෙනාටම ස්තුතිවන්ත කරන්නට ද මැලි වූයේ නැත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<