බලාපොරොත්තු සහගත තරගාවලියක් කල් දමයි

ආසියානු ක්‍රීඩා උළෙල 2022

933

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල එරට තුල මතුව ඇති කොරෝනා වසංගත තත්වය නිසාවෙන් 2023 දක්වා කල්දැමීමට තීරණය කළ බව ආසියානු ඔලිම්පික් කමිටුව අද (06) නිවේදනය කළා.

මෙම තීරණය පිළිබඳව දැනුවත් කරමින් ආසියානු ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළේ, තරගාවලියේ නව දින පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට සූදානම් බවයි.

ආසියානු කලාපයේ පවත්වන විශාලතම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙලේ මෙවර අදියර සැප්තැම්බර් 10 සිට 25 දක්වා චීනයේ Hangzhou හීදී පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

“Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල ගෝලීය අභියෝග මධ්‍යයේ ඉතා හොඳින් පැවැත්වීමටයි එහි සංවිධායකයින් සැලසුම් කර තිබුණේ. කෙසේ නමුත් මෙම වසංගතයේ නවතම තත්වය සහ මෙම ක්‍රීඩා උළෙලෙහි ප්‍රමාණය සලකා බලා තරගාවලියට සම්බන්ධ සියලුම පාර්ශවයන් එකඟව මෙම තීරණය ගෙන තිබුණා”, යැයි ආසියානු ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.

මෙම තරගාවලියේ තරග පැවැත්වීමට සැලසුම් කර තිබූ ක්‍රීඩාංගණ සියල්ල අප්‍රේල් මාසයේ දී ඉදිකිරීම් අවසන් කළ බව ද එහි සංවිධායකින් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

තරගාවලියේ සත්කාරක නගරය වන Hangzhou සිට කිලෝමීටර් 200කට අඩු දුරකින් පිහිටා ඇති Shanghai නුවර මේ වන විට කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග චීන රජය විසින් ගෙන තිබෙනවා.

කොරෝනා වසංගතය නිසාවෙන් චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි රැසක් අවලංගු කිරීමට සිදු වූ අතර 2022 ශ්‍රීත ඔලිම්පික් උළෙල චීනයේ බීජිං නුවර පැවැත්වුණේ දැඩි සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් තුළයි.

මීට අමතරව දෙසැම්බර් මාසයේ චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ද වත්මන් තත්වය නිසා අවලංගු කිරීමට තීරණය කළ බව ද ආසියානු ඔලිම්පික් කමිටුව වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙවර ලෝක විශ්වවිද්‍යාල තරගාවලිය ද ජුනි මාසයේ චීනයේ දී පැවැත්වීමට නියමිත නමුත් මේ දක්වා එම තරගාවලිය පැවැත්වීම පිළිබඳව කිසිවක් ප්‍රකාශයට පත්කර නැහැ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<