මෙන්ඩිස්ට ඇප; රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

669

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඇප මත මුදා හැරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ඒ අනුව, පානදුර මහේස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 10ක් වූ ශරීර ඇප දෙකක් මත කුසල් මෙන්ඩිස්ට ඇප නියම කර ඇත.

කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිතය.

ඊයේ (05) අලුයම 5ට පමණ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැද වූ මෝටර් රථයේ ගැටී පාපැදිකරුවෙකු මිය ගියේය.

සිද්ධියෙන් පැයකට පමණ පසු පානදුර උතුර පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වූ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද උදෑසන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

අනතුර සිදුවන අවස්ථාවේ දී මෙන්ඩිස් මත්පැන් පානය නොකට සිටි බව තහවුරු වී තිබෙන අතර රථය පදවමින් සිටියදී ඔහුට නින්දයාම නිසාවෙන් මේ අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණයේ දී හෙළිව ඇත.

25 හැවිරිදි කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44කට, එක්දින තරග 76කට හා විස්සයි විස්ස තරග 26කට ක්‍රීඩා කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා පල්ලෙකැලේ දී සහභාගී වූ පුහුණු සැසියට ද කුසල් මෙන්ඩිස් එක්විය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<