දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටියේ A කාණ්ඩය පමණක් නොව B කාණ්ඩය ද මෙවර ThePapare.com තුලින් ආවරණය කරන බව ඔබ දන්නවා ඇති. ඒ අතරින්  B කාණ්ඩයේ තවත් කණ්ඩායමක් වෙනුවෙන් අවධානය යොමු කරන්නට මේ ලිපිය වෙන්වේ. ඒ පසුගිය වසරේ C කාණ්ඩයෙන් උසස්වීමක් ලද කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි කණ්ඩායම යි.

දකුණු ලක රග්බි ඉතිහාසය ලියන රිච්මන්ඩ්වරුන්

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරනු ලබන 2018 සිංගර් පාසල් රග්බි ලීග්…

1963 තරම් ඈත අතීතයකට විහිදී යන බෙනඩික්ට් රග්බි ඉතිහාසය දෙස හැරී බලන විට ඔවුන් විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට දායද කළ ක්‍රීඩකයින් ප්‍රමාණය සුළුපටු නොවේ. ඒ අතරින් ශාරෝ ප්‍රනාන්දු, රොහාන් ගුණරත්න, ලුශේන් සිරිවර්ධන කිහිප දෙනෙකි.

මේ පාර තරග ගොඩක් අපේ පිටියේ පැවැත්වෙන්නේ. ඒක අපිට චාන්ස් එකක්.

බෙනඩික්ට්වරුන්ගේ පසුගිය වසරේ දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 81කින් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණය කැපී පෙනේ.

කෙසේ නමුත් පසුගිය වසරේ අපරාජිතව C කාණ්ඩයෙන් ලද උසස්වීම ද සමඟින් මෙවර තරගාවලිය සඳහා පිවිසෙන බෙනඩික්ට් කණ්ඩායම, අනෙකුත් ක්‍රීඩකයින්ට අභියෝගයක් එල්ල කළ හැකි ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.

කණ්ඩායමේ සංයුතිය දෙස බැලීමේ දී පෙර වසරේ ජයග්‍රාහී කණ්ඩායමේ නායකත්වය දැරූ ජනිත් සෙනෙවිරත්න මේ වසරේත් කණ්ඩායමේ නායකත්වය දැරීම බෙනඩික්ට්වරුන්ට වාසි සහගතය. සෙසු ක්‍රීඩකයන් අතරින් 4 වන වසරේ ක්‍රීඩකයන් සිව්දෙනෙක්, 3 වන වසරේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ සංචිතයේ අනෙක් බහුතරය 2 වන වසරේ ක්‍රීඩකයන්ගෙන් ද සමන්විත ය.

කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක නිමන්ත ශාලින්ද හා ෆ්ලයි හාෆ් ක්‍රීඩක කවීන් පෙරේරා ගැනත් වැඩි කතාබහට ලක්වන අතර සෙන්ටර් ක්‍රීඩකයින් වන අංජන පෙරේරා හා මාර්ක් පෙරේරා ද තරගාවලියේ දී වැඩි අවධානයක් දිනා ගනු ඇත.

කණ්ඩායමේ නායක ජනිත් සෙනෙවිරත්නගෙන් ThePapare.com කළ විමසීමක දී ඔහු පවසා සිටියේ තමාට ලැබී ඇත්තේ සමබර කණ්ඩායමක් බවත්, හොඳ තරගයක් ලබා දී මුල් කණ්ඩායම් 4 අතරට පිවිසීම තමාගේ අභිලාශය බවත් ය.

කණ්ඩායමේ සීනියර් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා, ඒවගේම ගිය අවුරුද්දේ හිටපු අයත් ගොඩක් ඉන්නවා, මගේ මේ 6 වැනි අවුරුද්ද. මේ පාර තරග ගොඩක් අපේ පිටියේ පැවැත්වෙන්නේ. ඒක අපිට චාන්ස් එකක්. කවවත් ලේසියට ගන්නෑ. මැච් එකෙන් මැච් එක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ජනිත් වැඩිදුරටත් පැවසීය.

මෙම කණ්ඩායමට උපනායකයන් දෙදෙනෙකු සිටින අතර ඒ අතරින් නිමන්ත ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම පුහුණුකරුවන්ගෙන් කණ්ඩායමට ලැබෙන සහය අතිමහත් බවත්, ඒ නිසාම පීඩනයකින් තොරව තරගාවලිය වෙත අවතීර්ණ වීමට හැකියාව ලැබෙන බවත්ය.

හොඳ සූදානමකින් අපි ඉන්නවා. ආබාධ තත්වයන් පවා දැන් සුව අතට හැරිලා තියෙන්නේ. අපිට මේ පාර ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායම් ටිකක් ඉන්නවා ඒ අතර විද්‍යාර්ථ හා ගල්කිස්ස විද්‍යා විද්‍යාල පිළිබඳව වැඩි අවධානයකින් අපි ඉන්නවා.”

  • සාන්ත බෙනඩික්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සුදත් සම්පත්

විද්‍යාර්ථ හා ගල්කිස්ස විද්‍යා විද්‍යාල පිළිබඳව වැඩි අවධානයකින් අපි ඉන්නවා.

මෙවර සාන්ත බෙනඩික්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායමේ පුහුණුකරු හා පොලිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කරන සුදත් සම්පත් මහතා කටයුතු කරන අතර සහය පුහුණුකරුවන් ලෙස කෞෂල පෙරේරා සහ තරංග අල්විස් කටයුතු කරයි.

කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සහය පුහුණුකරු කෞෂල මහතා පවසා සිටියේ,

සුදත් සර් ගෙනුත් ලොකු සපෝර්ට් එකක් එක්කම හොඳ අත්දැකීමුත් කණ්ඩායමට ලැබෙනවා. අපේ ජූනියර් කණ්ඩායමත් හොඳ මට්ටමක ඉන්නවා. මේ පාර දෙතුන් දෙනෙක් එළියට ගියත්, කණ්ඩායමේ දක්ෂතා ඉදිරියේ දී මේ මට්ටමෙන් ඔබ්බට රැගෙන යන්නට බලාපොරොත්තු වෙනවා.”

මෙවර සාන්ත බෙනඩික්ට් සංචිතය මෙසේයි.

ජනිත් සෙනෙවිරත්න (නායක), නිමන්ත සාලින්ද (උප නායක), අංජන පෙරේරා (උප නායක), ශෙවෝන් සිල්වා, අභිලාෂ් ෂේන්, සෙරිත් ප්‍රනාන්දු, දිනිත් නදීෂාන්, අවිශ්ක ඩිල්ෂාන්, නෙත්මල් විජේසිංහ, ෂර්වින් ඇන්තනි, කවීන් පෙරේරා, අශේන් වීරසිංහ, මාර්ක් පෙරේරා, නිරාෂ් පෙරේරා, එවොන් වේල්ස්, ජෙවොන් පෙරේරා, රුමාන් පෙරේරා, කනිල් මලීෂ, නිසිත ප්‍රනාන්දු, ස්ටෙෆාන් ජෝසප්, ඔසඳ අමරසිංහ, දහම් මනෙත්, චානුක නියෝමාල්, තිමල්ෂ සේනාරත්න.

මෙවර පාසල් තරගාවලිය සඳහා සහභාගී වන කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට තම දක්ෂතා අතර පැමිණ තම බලාපොරොත්තු වන කාණ්ඩ ශූරතාවය දිනා ගැනීමට හැකි වේවා’යි  ThePapare.com අපි සුබ පතන්නෙමු.

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<