සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව

Asia Cup 2023

10611

ආසියානු කුසලාන 2023 එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අද (06) සිට ආරම්භ වීමට නියමිතයි.

තරග කාලසටහන

දිනය තරගය
1 සැප්තැම්බර් 06 පාකිස්තානය සහ බංග්ලාදේශය අතර Lahore හිදී
2 සැප්තැම්බර් 09 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ දී.
3 සැප්තැම්බර් 10 ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ දී.
4 සැප්තැම්බර් 12 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ දී.
5 සැප්තැම්බර් 14 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ දී.
6 සැප්තැම්බර් 15 බංග්ලාදේශය සහ ඉන්දියාව අතර කොළඹ දී.
7 සැප්තැම්බර් 17 අවසන් මහා තරගය කොළඹ දී.

තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ඊයේ (5) Lahore හිදී නිමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා දෙමින්. ඒ අනුව B කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකාව අපරාජිත ව පළමු ස්ථානයට පත් වෙමින් ද සහ ශ්‍රී ලංකාව වෙතින් පරාජයට පත් වූ බංග්ලාදේශය දෙවැනි ස්ථානය ලබා ගනිමින් ද සුපිරි 4 වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

A කාණ්ඩයෙන් මෙම අවස්ථාව උදා කර ගත්තේ පාකිස්තානය සහ ඉන්දියාවයි.

ප්‍රසාද ලකුණු පුවරුව

Group A Group B
Team M W L NR PT NRR Team M W L NR PT NRR
පාකිස්තානය 2 1 0 1 3 4.760 ශ්‍රී ලංකාව 2 2 0 0 4 0.594
ඉන්දියාව 2 1 0 1 3 1.028 බංග්ලාදේශය 2 1 1 0 2 0.373
නේපාලය 2 0 2 0 0 -3.572 ඇෆ්ගනිස්තානය 2 0 2 0 0 -0.910

ප්‍රසාද ලකුණු පුවරුව මේ ලෙසින් සැකසුනත් බොහෝ විචාරකයන්ගේ මතය වන්නේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ඉන්දියාව සහ පාකිස්තානය බවයි. නමුත් එය තීරණය වන්නේ ශ්‍රී ලංකාවේ තරග රටාව අනුව බවයි අපගේ විශ්වාසය. එබැවින් මෙතැන් සිට ආසියානු කුසලානයේ ප්‍රධාන තිරකයා බවට ශ්‍රී ලංකාව පත් වෙනු නියතයි.

පළමු තරගය

සැප්තැම්බර් 09 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ දී.

ශ්‍රී ලංකාවට ඉදිරි තරගවල දී පළමුවෙන් ම හමුවෙන්නේ බංග්ලාදේශයයි. මෙම තරගාවලියේ දී පළමු වටයේ දී ද බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගයක් පැවැත්වෙන අතර එම තරගයෙන් කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබා ගන්නවා. ඒ විශ්වාසයත් සමඟයි, ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ.

මෙවර තරගාවලියේ දී බංග්ලාදේශය ගැන කිසිවෙක්ගේ අවධානයක් විශේෂයෙන් ම යොමු වී තිබූ බවත් අපට අසන්නට ලැබුණේ නැහැ. නමුත් මෙවර තරගාවලියේ දී ප්‍රබල ඇෆ්ගනුස්තානුවන් තරගාවලියේ ඉවතට ඇද දැමීමට පළමු පියවර ගත් රට ලෙසින් ඔවුන්ට ඇගයිම් ලැබෙනවා. ඒ ඔවුන් තම පළමු තරගයේ දී ම ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 89ක ජයග්‍රහණයක් ලබා ගනිමින් පෑ දක්ෂතාවන් හේතුවෙන්. එබැවින් ඔවුන්ගේ දක්ෂතා කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි.

ආසියානු කුසලාන ඉතිහාසයේ 2012 සහ 2018 වසර ද්විත්වයේ අනුශූරයන් බවට පත් වෙන්නේ බංග්ලාදේශයයි.

දෙවැනි තරගය

සැප්තැම්බර් 12 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ දී.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හමුවෙන ප්‍රධානත ම ප්‍රතිවාදියා වන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවට මෙතෙක් වසර ද්විත්වයක් තිස්සේ ඉන්දියාව පරාජය කිරීමට නොහැකි වී තිබෙන පසුබිමකයි ඔවුන් හමුවෙන්නේ.

කෙසේ වෙතත් දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට හමු වෙන්නේ මේ වසරේ ජනවාරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දී. තරග 3කින් යුත් එම තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වෙනවා.

ඒ අතර ලකුණු 317ක දැවැන්ත පරාජයක් ද මෙරට ක්‍රීඩකයන්ගේ ගිණුම් අතරට එක් වෙනවා.

එම අතීත ස්මරණයන් සමඟින් සහ ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් කුසලානය හිමිකර ගත් රට ලෙසයි ඉන්දියාව මේ තරගය හා එක් වෙන්නේ. ඔවුන් අවස්ථා 6ක දී ශූරයන් වෙද්දී අවස්ථා 3ක දී අනුශූරයන් බවට පත් වෙනවා.

තෙවැනි තරගය

සැප්තැම්බර් 14 – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ දී.

2018 වසරේ පැවැති ආසන්ත ම එක්දින ආසියානු කුසලානයේ හිමිකරුවන් වන පාකිස්තානය ඊට පෙර දී තවත් එක් වතාවක් ද සහ අනුශූරයන් ලෙසින් අවස්ථා 2ක දී ජයග්‍රහණ කරමින් මෙවර තරගාවලියට එක් වූවා.

ඔවුන්ට මෙවර තරගාවලියේ වඩාත් ගැටුම්කාරී තරගය වූයේ ඉන්දියාව හා සමඟ වූ පළමු වටයේ තරගයයි. අවාසනාවකට මෙන් එම තරගය එක් ඉනිමකට පමණක් සීමා වුනා. ඒ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.

ඒ කෙසේ වෙතත් එම තරගයේ දී පාකිස්තානුවෝ ප්‍රබල ඉන්දියානුවනට එරෙහිව ඉතා හොඳ තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින තරගාවලියක් හා එක් වෙන්නේ 2019 වසරේ සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයෙන් අනතුරුව වීම ද කැපී පෙනෙනවා. තරග 3කින් සමන්විත එම තරගාවලියෙන් ශ්‍රී ලංකාව 2-0කින් පරාජයට පත් කිරීමට පාකිස්තානය සමත් වෙනවා.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<