ප්‍රසාද ලකුණු සමඟින් ජයග්‍රහණය හැව්ලොක් පිළට

268
Dialog Rugby League 2016/17 week 9 Havelock v Police report

පිළිසකර වූ පොලිස් ක්‍රීඩා සමාජයෙන් දැඩි අභියෝගයක් එල්ල වුවද, ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තමන් සහභාගී වූ දෙවන තරගයත් අතිරේක ප්‍රසාද ලකුණක් (බෝනස් ලකුණක්) සමඟින් ජයග්‍රහණය කරන්නට ප්‍රසාද ලකුණු සටහන් ප්‍රමුඛයන් වන හැව්ලොක් කණ්ඩායමට අවසන් මොහොතේ  හැකියාව ලැබුණි.

අවසන් ලකුණු තත්වය – හැව්ලොක් ක්‍රීඩා සමාජය 29 – 13 පොලිස් ක්‍රීඩා සමාජය

මෙම තරගයෙන් හතරෙන් තුන් කොටසක් පමණ නොහොත් මිනිත්තු 60ක් පමණ ගතවන තුරු ආධිපත්‍ය රඳවා ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. කෙසේවෙතත් තරගයේ වැදගත්ම කොටසට පැමිණෙන විට ප්‍රහාරාත්මක ජවය උපරිම තලයට ගෙන ආ හැව්ලොක් කණ්ඩායම, මෙවර තරගාවලියේ ඉතා වැදගත් බෝනස් ලකුණක් ද හිමි කර ගත්තේ අවසන් මිනිත්තු කිහිපය තුල අගනා උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමිනුයි.

පසුගිය ලිපි: ඩයලොග් රග්බි ලීග් 9 වැනි සතිය: ස්ථාන කිහිපයක් සඳහා දැඩි සටනක්

පළමු අර්ධයේ ආරම්භක කාල සීමාව තුල පොලිස් කණ්ඩායම ප්‍රබල අයුරින් තරගයට අවතීර්ණ වී සිටියද ඔවුන් එල්ල කල දඬුවම් පහර 2ක් පිටියෙන් ඉවතට එල්ල කර උත්සාහක දිනුමක් ලබා ගැනීමේ උත්සාහයක් දැරුවද එය සාර්ථක නොවීය. කෙසේවෙතත් පොලිස් කණ්ඩායමට පළමුව ලකුණු එක් කල රාජිත සන්සෝනි මීටර් 20ක දුරක සිට දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරන ලදී.

ඉන් මිනිත්තු කිහිපයකට පසු ගෝල සීමාවට මීටර් 5ක පමණ දුරකින් පන්දුව පිටියට විසි කිරීමේ අවස්ථාවක් (Lineout) හැව්ලොක් කණ්ඩායමට ලැබුණු අතර ඉන් උපරිම ප්‍රයෝජන ගත් ප්‍රසාත් මධුශංක එය උත්සාහක දිනුමක් බවට පත් කර ගන්නා ලදී (05 – 03)

මිනිත්තු 40ක් පුරා කරට කර සටනක යෙදීමෙන් පසු පොලිස් කණ්ඩායමට එක් ලකුණක සුළු වාසියක් සමඟ පළමු අර්ධය අවසන් කරන්නට හැකි වුනේ සන්සෝනිගේ පාදයෙන් සාර්ථකව එල්ල වූ තවත් දඬුවම් පහරක් හේතුවෙනුයි.

පළමු අර්ධයේ ලකුණු තත්ත්වය පොලිස් ක්‍රී. ස. 6 (2P) – හැව්ලොක් ක්‍රී. ස. 5 (1T)

දෙවන අර්ධයේ පළමු මිනිත්තු 20 තුළදීත් කණ්ඩායම් දෙක ද්වන්ධ සටනක නිරත වූ අතර දෙපිලේම තාක්ෂණික දෝෂ රැසක් සිදුවනු දක්නට ලැබුණි. එහි උච්ඡතම අවස්ථාව වූයේ පොලිස් කණ්ඩායමේ මුශීන් ෆලීල් මිනිත්තු 10කට පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු වරයා පියවර ගැනීමයි.

මේ අතර දඬුවම් පහරක් මගින් සත්කාරක හැව්ලොක් කණ්ඩායම යලි පෙරමුණට ගෙන එන්නට දුලාජ් පෙරේරා සමත් විය. අනතුරුව හැව්ලොක් කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කලේ පොලිස් කණ්ඩායමට ක්‍රීඩකයෙක් අඩුවීමේ අවාසිය තම වාසියක් බවට පත් කර ගනිමිනුයි. චාමර දාබරේ දර්ශනීය ලෙස යොමු කල පන්දුවක් ආධාරයෙන් එම උත්සාහක දිනුම වාර්තා කරන්නට හිරන්ත පෙරේරා සමත් වූ අතර දුලාජ් පෙරේරා හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවීය. (15-6).

එම දර්ශනීය තරග රටාවෙන් පන්නරය ලැබූ චාමර දාබරේ යලිත් උත්සාහක දිනුමක් සඳහා අවස්ථාවක් උදා කර ගන්නට සමත් වූ අතර මෙවර පිටියේ ඈත කෙලවරේ සිට එම අවස්ථාව ලකුණු බවට පරිවර්තනය කිරීමේ ගෞරවය හිමි වූයේ ලසිඳු ඉශාන් හටයි. දුලාජ් පෙරේරා එම අවස්ථාවේදීත් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (22-6).

තරගයේ අවසන් මිනිත්තු 10 තුල හැව්ලොක් ආරක්ෂක පෙළ අතරින් හිඩැසක් සොයා ගත් සංදේෂ් ජයවික්‍රම ඒ අතරින් දිව ගොස් රාජිත සන්සෝනි හට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අවස්ථාව සකසා දුනි. සන්සෝනි විසින්ම එහි ප්‍රවර්තනයද සාර්ථක කර ගන්නට සමත් වුවත් ලකුණු 9ක වාසියක් සහිතව සිටි හැව්ලොක් කණ්ඩායමට අභියෝග කිරීමට තරම් කාලයක් පොලිස් කණ්ඩායම සතුව නොතිබිණි.

අවසන් මිනිත්තුවේ ලද දඬුවම් පහරක් පිටියෙන් ඉවතට යොමු කිරීමට හැව්ලොක් කණ්ඩායම තීරණය කලේ 4වන උත්සාහක දිනුම වාර්තා කර බෝනස් ලකුණක් ලබා ගැනීමේ වැදගත්කම මනාව අවබෝධ කර ගැනීම හේතුවෙනුයි.

අනතුරුව පන්දුව පිටියට යොමු කිරීම සහ එය ලබා ගැනීම නිසි අයුරින් සිදු කල රෝස බලකායේ ක්‍රීඩකයන් වෙනුවෙන් පන්දුව සීමා ඉරෙන් එපිටට ගෙන යන්නට දුෂ්මන්ත ප්‍රියදර්ශන සමත් විය. දුලාජ් පෙරේරා එහි අමතර ලකුණුද එකතු කරන්නට සමත් වූ අතර, පළමු අර්ධයේ දී සිදුවූ පසුබැසීම අමතක කර අළු ගසා දමා නැගී සිටි හැව්ලොක් ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැක ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය:

හැව්ලොක් ක්‍රී. ස. 29 (උත්සාහක දිනුම් 4, ප්‍රවර්තන 3, දඬුවම් පහර 1) – පොලිස් ක්‍රී. ස. 13 (උත්සාහක දිනුම් 1, ප්‍රවර්තන 1, දඬුවම් පහර 2)

ප්‍රසාද ලකුණු 6 ක් සමඟින් තවදුරටත් තරගාවලි ප්‍රමුඛයන් වන්නට හැකි වුවත් හැව්ලොක් කණ්ඩායමට ඉදිරි තරග වලදී ජයග්‍රහණ ලබා ගැනීම එතරම් පහසු නොවනු ඇති. එබැවින් තම ප්‍රමුඛ ස්ථානය තවදුරටත් රැක ගැනීමට නම් ඔවුන්ට තම තරග සැලසුම් පිලිබඳ නැවත සිතා බැලීමට කාලය එළඹ තිබේ.

ThePapare තරගයේ වීරයා: ගනිඳු ලක්ෂාන්  (හැව්ලොක් ක්‍රී. ස.)

මේ තරගයෙන් හිමිවූ ප්‍රසාද ලකුණු: හැව්ලොක් ක්‍රී.ස 6 – පොලිස් ක්‍රී.ස. 0

කහ කාඩ්පත් ලද ක්‍රීඩකයන්: සෙනාල් සිල්වා , ජනික් ජයසූරිය (හැව්ලොක්) මුශීන් ෆලීල්, උදාර ගයාන් (පොලිස්)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

හැව්ලොක්:

උත්සාහක දිනුම්: ප්‍රසාත් මධුශංක, දුෂ්මන්ත ප්‍රියදර්ශන, ලසිඳු ඉශාන්, හිරන්ත පෙරේරා.

ප්‍රවර්තන : දුලාජ් පෙරේරා (3)

දඬුවම් පහර : දුලාජ් පෙරේරා

පොලිස් ක්‍රී. ස.

උත්සාහක දිනුම්: රාජිත සන්සෝනි

ප්‍රවර්තන : රාජිත සන්සෝනි

දඬුවම් පහර : රාජිත සන්සෝනි (2)

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට  

WATCH MATCH REPLAY