අභිමානවත් නායකයා සමඟ ගෝලයාත් විශ්‍රාම යයි!

14852

ඉන්දියාවේ සාර්ථකම ක්‍රිකට් නායකයා වන මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය සමුගැනීම ප්‍රකාශයට පත් කර සුළු මොහොතකට පසුව ඉන්දීය පිතිකරු සුරේෂ් රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තමන් ද සමුගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබුණා.

ලෝක කුසලාන දෙකක් දිනූ නායකයෙක් වන දෝනි, Instagram සටහනක් ඔස්සේ තමන්ගේ සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබුණා. 

“ඔබේ සහයෝගයට හා ආදරයට බොහොම ස්තුතියි. රාත්‍රී 7.30 සිට මම ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා” දෝනි සටහනක් තබා තිබුණා. එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවීමට නියමිත දෝනි එම කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටව යෑමට පෙර චෙන්නායි හිදී අවසන් වරට හමු වූ අවස්ථාවේ දී ලබා ගත් ඡායාරූප කිහිපයක ද සිටිනු දක්නට ලැබුණා.

 

View this post on Instagram

 

Thanks a lot for ur love and support throughout.from 1929 hrs consider me as Retired

A post shared by M S Dhoni (@mahi7781) on

ඕස්ට්‍රේලියාවට එරෙහිව 2014 වසරේ දී පැවැත්වුණු ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දෝනි ටෙස්ට් ක්‍රීඩාවට සමුදුන් අතර 2017 වසරේ දී ඔහු විරාත් කෝලිට එක්දින හා විස්සයි විස්ස නායකත්වය ද ලබා දුන්නා.

ඉන්දියාවේ සාර්ථකම ක්‍රිකට් නායකයා ලෙස වසර 16ක් ක්‍රීඩා කළ දෝනි 2007 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය, 2011 එක්දින ලෝක කුසලානය මෙන්ම 2013 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානයන් ද ඉන්දියාවට ගෙන ආවා.

දෝනි අවසන් වරට එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ 2019 එක්දින ලෝක කුසලානයේ දී නවසීලන්තයට එරෙහිවයි. සිය 350 වැනි එක්දින තරගය වූ ඒ තරගයේ දී දෝනි සටන්කාමි අර්ධ ශතකයක් වාර්තා කරත්, ඉන්දියාවට එම තරගය ජය ගන්නට ලැබුණේ නැහැ.

තවත් ක්‍රිකට් පුවත්:

දෝනි එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශ කරන විට ඔහු 50.57ක සාමාන්‍යයකින් ලකුණු 10,773ක් රැස් කරගෙන සිටියා. ඉන්දියානු පිතිකරුවෙකු එක්දින තරගවල දී වාර්තා කළ වැඩිම හයේ පහර ගණනට ද හිමිකම් කියන ඔහු හයේ පහර 229ක් ද වාර්තා කරගෙන තිබෙනවා.

දෝනි 2007 වසරේ දී රාහුල් ඩ්‍රාවිඩ්ගෙන් එක්දින නායකත්වය භාර ගත් අතර එහි දී ඔහු නායකයා ලෙස කටයුතු කළ තරග 200න් තරග 110ක් ම ඉන්දියාව ජය ගැනීම විශේෂත්වයක්. පරාජයන් 74ක්, ලකුණු සම වූ තරග 5ක්, තීරණයක් නැති තරග 11ක් ද සමඟින් ජයග්‍රහණ ප්‍රතිශතය 55%ක්.

දෝනි විස්සයි විස්ස තරග 98ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී දෝනිගේ නායකත්වය යටතේ ජයග්‍රහණ ප්‍රතිශතය 58.33%ක්. ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව තරග 42ක් ජය ගනිද්දී, දෝනි පන්දුවට පහර දීමේ වේගය 126.13ක් ලෙස රඳවා ගනිමින් විස්සයි විස්ස ලකුණු 1617ක් රැස් කරගෙන තිබෙනවා.

මේ අතර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා ද සිය නායකයාගේ අඩිපාරේ යමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් තමන් සමුගන්නා බව පවසා සිටියා.

“දෝනි ඔබත් එක්ක ක්‍රීඩා කිරීම හරිම ආදරණීයයි. මගේ හදවත අභිමානයෙන් උතුරා යද්දී මම ඔබත් සමඟ මේ ගමන යන්න තෝරා ගන්නවා. ඉන්දියාවට බොහොම ස්තුතියි” දෝනි සිය සමුගැනීම ප්‍රකාශයට පත් කර මොහොතකට පසුව රයිනා ද සිය සමුගැනීම ප්‍රකාශ කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<