ඉන්දු – ශ්‍රී ලංකා ගැටුමට පෙර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1178

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (6) සවස ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි.  මෙය තරගාවලියේ 9 වැනි තරගයයි.

මෙතෙක් පැවති තරග අතරින් ආසන්නතම තරගයේ දී පාකිස්තානය වෙතින් පරාජය වූ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මෙම තරගයට එක් වෙන්නේ තම නැසී ගිය ගෞරවය නැවත ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. එසේ නොවුනහොත් ඔවුන්ට අවසන් තරගය අහිමි වීමේ වැඩි ඉඩකඩක් තිබේ.

තරගාවලියේ තම පළමු තරගයෙන් ම අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව, මේ වන විට සියලු අළු – දූලි ගසා දමමින් ශ්‍රී ලාංකිකයන් තුළ ජයග්‍රහණයේ බලාපොරොත්තු තබා තිබෙනවා. ඇෆ්ගනිස්ථානය වෙතින් නැති වූ තම ගෞරවය බංග්ලාදේශයට එරෙහිව තියුණු සටනකින් අනතුරුව ද, නැවත සුපිරි 4 වටයේ දී ඇෆ්ගනිස්ථානය වෙතින් ම ද ලබා ගැනීමට ඔවුන් සමත් වූවා.

ඒ අනුව ඔවුන් අද තරගයට පිවිසෙන්නේ යම් හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් තවත් අවස්ථාවක් ද අතේ තබා ගනිමින්. ඒ එළඹෙන 9 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තානය සමඟ තරගයේ ප්‍රතිඵල මතයි.

  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රමෝද් මධුශාන්, මතීෂ පතිරණ
  • ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක) KL Rahul (උප නායක) Arshdeep Singh, Ravichandran Ashwin, Avesh Khan, Yuzvendra Chahal, Deepak Hooda, Dinesh Karthik, Virat Kohli, Bhuvneshwar Kumar, Hardik Pandya, Rishabh Pant, Axar Patel, Ravi Bishnoi, Suryakumar Yadav

කෙසේ වෙතත් නිමා වූ ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සේ ම පළමු වටයෙන් සුපිරි 4 වටයට පිවිසීමට සුදුසුකම් ලබා ගත් බංග්ලාදේශය සමඟ තරගයේ දී ද ශ්‍රී ලංකා පිතිකරුවෝ සහ පන්දු යවන්නෝ පෑ විශ්වසනීයත්වය තව දුරටත් රඳා ගන්නේ නම් මේ තරගයට ද අපහසු නොවනු ඇත.

මේ වෙද්දී ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක අතරට පැතුම් නිස්සංක සහ නායක දසුන් ශානක ද පිවිසීම ශ්‍රී ලංකාවට මහත් වාසිදායක තත්ත්වයක්.

එමෙන් ම පන්දු යවන්නන් ලෙසින් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ද ප්‍රතිවාදීන් පාලනයේ දී වැදගත් යමක් කරද්දී, නවක ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක ද ඊට එක් වීම අගය කළ යුතුයි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන චාමික කරුණාරත්න සහ වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු ද ඉන්දීය ඉනිම පාලනයේ දී වැදගත් මෙහෙවරක් ඉටු කළ යුතු දෙදෙනෙක් ලෙසින් හැඳින්විය හැකියි.

ඒ අනුව මෙම තරගයේ දී බොහෝ විට පෙර ක්‍රීඩා කළ කණ්ඩායම ම සහභාගී විය හැකියි.

සහභාගී විය හැකි යැයි විශ්වාස කරන ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුශංක.

ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වූයේ ම පසුගිය වසරේ ජයග්‍රාහකයන් ලෙසත් සහ වැඩිම අවස්ථා ගණනාවක දී ශූරතාව දිනා ඇති කණ්ඩායම ලෙසත් වන ආඩම්බරයෙන්. එබැවින් ඔවුන්ට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය ම අංගයක් වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් මෙම තරගයේ දී වඩාත් ම ප්‍රවේගකාරී බලඇණිය තරගයට කැඳවනු නියතයි.

ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගන්නා ලද පිතිකරු ලැයිස්තුවේ පළමු තිදෙනා ම මෙම කණ්ඩායමට ඇතුළත් ව සිටී ම තරමක භයානක බවක් නිරූපණය වෙනවා. ඒ නායක Rohit Sharma, හිටපු නායක Virat Kohli සහ උප නායක KL Rahul. ඔවුන් සමඟ ඉන්දියාවේ වැඩිම කඩුලු ලාභී ලැයිස්තුවේ පළමු ස්ථාන දෙකේ සිටින Yuzvendra Chahal සහ Bhuvneshwar Kumar ද සිටීම මේ තත්ත්වය තවත් නපුරු බවක් අඟවනවා.

නමුත් පරාජිත පාකිස්තානය සමඟ තරගයේ දී ද මෙම 5 දෙනා ම කණ්ඩායමට ඇතුළත්ව සිටීම ද අපට අමතක කළ නොහැකියි. එහි දී යම් තරමකින් හෝ සාර්ථක වූයේ Virat Kohli පමණයි. ඔහු පන්දු 44ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. Rohit Sharma සහ KL Rahul ලබා ගත්තේ ලකුණු 28ක් බැගින් පමණයි. කඩුලු ලබා ගැනීමේ දී Yuzvendra Chahal සහ Bhuvneshwar Kumar ලබා ගත්තේ කඩුල්ලක් බැගින් පමණයි.

එකී දක්ෂතා හෝ දුර්වලතා අපි මෙම තරගයේ දී ඒ ආකාරයෙන් ම බලාපොරොත්තු නොවෙමු. නමුත් දක්ෂ-අදක්ෂතා කෙසේ වූවත් ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය කණ්ඩායම තුළ ඔවුන් තවදුරටත් සිටිනු නියතයි. ඔවුන් පමණක් නොවේ මෙතෙක් තරගාවලිය පුරා දක්ෂතා දැක්වූවෝ තවත් සිටී. ඒ අතර පිතිකරුවෙක් ලෙසින් Suryakumar Yadav ද පන්දු යවන්නන් ලෙසින් Arshdeep Singh සහ Hardik Pandya ද සිටිනවා. ඔවුන් ද මේ තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තම උපරිම බලය යොදවනු නියතයි.

සහභාගී විය හැකි යැයි විශ්වාස කරන ඉන්දීය කණ්ඩායම

Rohit Sharma (නායක), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant, Hardik Pandya, Deepak Hooda/Axar Patel, Bhuvneshwar Kumar, Ravi Bishnoi/Avesh Khan, Arshdeep Singh, Yuzvendra Chahal

35 වියැති Rohit Sharma මෙම තරගයේ දී පිටියට පිවිසෙන්නේ නිමා කරන ලද විස්සයි විස්ස තරග 38ක දී ජයග්‍රාහී ප්‍රතිශතය 81.57%ක් ලෙසින් ඉතා ඉහළ ප්‍රතිශතයක් පවත්වා ගෙන යන නායකයෙක් ලෙසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවක නායකත්වය දරා ඇති දසුන් ශානක මෙතෙක් තරග 31කට සහභාගී වෙමින් 46.77%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා සිටිනවා.

එකී අංක ගණිත ශාස්ත්‍රවලට වඩා එදිනට දෙපිලේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සේ ම ඩුබායි පිටියේ හැසිරීම ද මේ තරගයේ තීරණයට වඩාත් බලපානු නියතයි.

ඩුබායි පිටියේ පැවති අවසන් තරග 5 දී කාසියේ වාසිය දිනා ගත් නායකයන් 5 දෙනා ම තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගැනීමයි. ඒ අනුව ඉන් අවස්ථා 4ක දී ඔවුන් ප්‍රතිවාදීන් හඹා ගොස් ජයග්‍රහණය කර තිබෙනවා. ඉන් අවස්ථා 2ක් ම ලබා ගන්නේ ඉන්දියාවයි. එක් අවස්ථාවක් පාකිස්තානය ලබා ගනිද්දී අනෙක් අවස්ථාව ශ්‍රී ලංකාව ලබා ගන්නවා. එක් අවස්ථාවක දී පමණක් එකී තීරණය අභියෝගයට ලක් වෙන අතර ඉන් බැට කන්නේ හොංකොං රාජ්‍යයයි. එහි ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාවයි.

ඒ අනුව අවසන් තරග 5න් 3ක දී ම ඉන්දීය ක්‍රීඩකයෝ මෙම ක්‍රීඩා පිටියේ සෙල්ලම් දමා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ක්‍රීඩාංගණයේ හැසිරීම සම්බන්ධයෙන් ද අවබෝධයක් ලබා ගැනීමට වඩාත් පහසු වී තිබෙනවා. එහෙත් එපමණක්, පමණක් ජයග්‍රහණයට ප්‍රමාණවත් නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙර ජයග්‍රහණත් සමගින් වඩාත් සාමකාමී ම මෙම තරගයට පිවිසෙද්දී ඉන්දියාව මේ තරගයට පිවිසෙන්නේ පරාජිත ව්‍යාකූලත්වයකින්. එබැවින් ඔවුන් උත්සාහ දරන්නේ කෙසේ හෝ මේ තරගයෙන් ජයග්‍රහණය කිරීමයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට සිටින යහපත් මානසික තත්ත්වය හේතුවෙන් එය ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<