ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයාට ලෝක කුසලානය අහිමි වන ලකුණු

1332
Jadeja to undergo knee surgery

දකුණු පාදයේ දණහිසේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja හට ශල්‍ය කර්මයක් කිරීමට සිදුව ඇති අතර ඒ නිසාවෙන් ඔහුට කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වන බව වාර්තා වනවා.

එම නිසාවෙන් ඔහුට මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා.

නමුත් සිය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන Jadejaගේ තත්වය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දීය පුහුණුකරු Rahul Dravid ප්‍රකාශ කළේ,

“ඔහුව 2022 ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට තවමත් කල් වැඩියි. ඔහුගේ දකුණු පාදයේ දණහිසේ ආබාධයක් තියෙන නිසා අනිවාර්යයෙන් ආසියානු කුසලානයේ ඉතිරි තරග අහිමි වෙනවා. ඔහු මේ වන විට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඉන්නවා වගේම ලෝක කුසලානයට තව කල් තියෙන නිසා අපිට ඔහුව ඒකෙන් අයින් කරන්න හරි ඇතුළත් කරන්න හරි කාලය තවම වැඩී.

ආබාධ කියන්නේ ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක්. අපි ඒ දෙය කළමනාකරණය කරගන්න ඕන. මට ඕනේ නෑ ඒ පිළිබඳව අදහසක් ලැබෙනකම් ඔහුව තරගාවලියෙන් අයින් කරන්න හරි ඒ ගැන අදහසක් දක්වන්න හරි. විශේෂයෙන්ම ලෝක කුසලානයට සති හයක් තියෙද්දී.”

එමෙන්ම ඔහුගේ තත්වය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කළේ Jadejaගේ ආබාධ තත්වය තරමක් දරුණු බවයි.

“ඔහුට දණහිසේ ආබාධයට සැත්කමක් කරන්න ඕනේ වගේම ඒක කළාට පස්සේ ඔහුට කලක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වෙයි. මේ වෙලාවේ ඔහු වෛද්‍ය කණ්ඩායම සමඟ වැඩ කරමින් සිටිනවා. ඒත් ඔහු නැවත පැමිණෙන දිනයක් ගැන කාටත් හරියට කියන්න අමාරුයි.”

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Jadeja මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් තරග ද්විත්වයේ දී දස්කම් දක්වමින් කණ්ඩායමේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නා.

ඔහු මෙලෙස දණහිසේ ආබාධයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවන අතර දණහිසේ ආබාධයක් නිසා ඔහුට ජූලි මාසයේ පැවති කොදෙව් එක්දින තරගාවලිය ද අහිමි වුනා.

Cricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<