පාකිස්තානයෙන් ඉතිහාසගත ලකුණු හඹා යෑමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

310

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ පැවැත්වුණු ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය අද (4) ඩුබායි හිදී අවසන් වූ අතර එම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත් වුනා.

පාකිස්තානය එක් වෙනසක් සිදු කරමින් ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක Shahnawaz Dahani වෙනුවට Mohammad Hasnain මේ තරගයට කැඳවා තිබුණා.

එසේම ඉන්දියාව වෙනස්කම් තුනක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වූ අතර එහි දී ආබාධයකට ලක්ව සිටින Ravindra Jadeja, Avesh Khan සහ Dinesh Karthik වෙනුවට Deepak Hooda, Hardik Pandya සහ Ravi Bishnoi මේ තරගයට ක්‍රීඩා කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • පාකිස්තානය – Mohammad Rizwan (wk), Babar Azam (capt), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Shadab Khan, Asif Ali, Mohammad Nawaz, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah
  • ඉන්දියාව – Rohit Sharma (capt), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant (wk), Deepak Hooda, Hardik Pandya, Bhuvneshwar Kumar, Ravi Bishnoi, Arshdeep Singh, Yuzvendra Chahal

කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගන්නට සමත් වුනා.

ජයග්‍රහණය වෙනුවෙන් ලද ලකුණු 182ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය පන්දුවාර 19කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසු කර ගියා. එය පාකිස්තානු කණ්ඩායමක් විසින් ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක හඹා ගොස් තරගයක් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද ලෙස වාර්තා පොත් අතරට එක් වුනා.

යළිත් සුපිරි සහ සටන්කාමී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු Mohammad Rizwan පන්දු 51කින් ලකුණු 71ක් ලබා ගත්තේ හයේ පහර 2කින් හා හතරේ පහර 6කින් සිය ඉනිම වර්ණවත් කරමින්. එය ඔහු ලබා ගත් 15 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකයයි.

පාකිස්තාන ඉනිමට සහ තරගය නැරඹීම වෙනුවෙන් පැමිණ සිටි දහසකුත් පාකිස්තානු ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් අමන්දානන්දයට පත් කළ Mohammad Nawaz පන්දු 20කින් වේගවත් ලකුණු 42ක් රැස් කරමින් පාකිස්තානයේ හඹා යාමට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ද සමඟින්.

එහි දී තරගයේ වාර්තා වූ හොඳම සබඳතාවය වාර්තා කළ Rizwan සහ Nawaz පාකිස්තානු ඉනිම තුල 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක් තුල වේගවත් ලකුණු 73ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

නායක Babar Azam ලකුණු 14කටත්, Fakhar Zaman ලකුණු 15කටත් දැවී ගියා. Khushdil Shah නොදැවී ලකුණු 14*ක් හා Asif Ali ලකුණු 16ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Bhuvneshwar Kumar, Arshdeep Singh, Ravi Bishnoi, Hardik Pandya හා Yuzvendra Chahal යන ඉන්දීය පන්දු යවන්නන් සියලුම දෙනා කඩුල්ල බැගින් දවා ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් නායක Rohit Sharma සහ KL Rahul පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 31ක් තුල වේගවත් ලකුණු 54ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

නමුත් ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 8 තුල පළමු පන්දුවාර 12 දියත් කළ ප්‍රහාරාත්මක පිතිකරණය පාලනය කර ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වුනා.

එහි දී Virat Kohli පන්දු 44ක දී ලකුණු 60ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4ක් ඇතුළත් වූ අතර ඔහු අද වාර්තා කළේ සිය 32 වැනි විස්සයි විස්ස අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී Shadab Khan ලකුණු 31කට කඩුලු 2ක් දවාගෙන මේ තරගයේ දී වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වුනා. කෙසේ නමුත් සමස්තයක් ලෙස තරගය පුරාවට කණ්ඩායම් දෙකේම පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතුණා.

තරගයේ වීරයා – Mohammad Nawaz (පාකිස්තානය)

  • ඉන්දියාව – 181/7 (20): Virat Kohli 60, Rohit Sharma 28, KL Rahul 28, Shadab Khan 2/31.
  • පාකිස්තානය – 182/5 (19.5): Mohammad Rizwan 71, Mohammad Nawaz 42, Asif Ali 16, Ravi Bishnoi 1/26.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන මීළඟ තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ මස 6 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<