දඟපන්දු යවන්නෙක් නිපන්දු යොමු කිරීම අපරාධයක් – ශකිබ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1467

ශ්‍රී ලංකාව සමඟ පැවති තීරණාත්මක තරගයේ දී බංග්ලාදේශය පීඩනය දරා ගැනීමට නොහැකි වීමේ පාඩුව විඳි බව බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් පවසා සිටියා.

අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය තරගය අවසන් වූයේ ආසියානු කුසලානය පිළිබඳව බංග්ලාදේශ බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි.

බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් වයිඩ් පන්දු 8ක් සහ නිපන්දු 4ක් යොමු කළ අතර හත්වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් (60) කඩුලු රකින මුෂ්ෆිකර් රහීම් අතට උඩ පන්දුවක් ලබා දුන්න ද, මෙහෙදි හසන් යොමු කළ එම පන්දුව ද නිපන්දුවක් වීම විශේෂත්වයක්.

අවසන් පන්දුවාරයේ දී ද ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් පන්දුව ද මෙහෙදී හසන් යොමු කළ අතර එය ද නිපන්දුවක් වීම කැපී පෙනෙන කරුණක්.

අතිරේක ලකුණුවලට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් ලබා සිටිය දී ටස්කින් අහමඩ්ගේ පන්දුවකට මුෂ්ෆිකර් රහීම්ට ලබා දුන් උඩ පන්දුව ද රැක නොගැනීම බංග්ලාදේශයට විශාල පාඩුවක් අත් කර දුන්නා.

කිසිදු නායකයෙක්ට නිපන්දු අවශ්‍ය නෑ. දඟපන්දු යවන්නෙක් නිපන්දු යොමු කිරීම අපරාධයක්. අපි විශාල වයිඩ් පන්දු ප්‍රමාණයක් සහ නිපන්දු ප්‍රමාණයක් යොමු කළා. ඒක හොඳ පන්දු යැවීමක් නෙමෙයි. පීඩනයක් සහිත තරගවල දී ඉදිරියට යන ආකාරය පිළිබඳව අපට ඉගෙන ගත යුතු දේවල් බොහෝයි,” යනුවෙන් ශකිබ් මාධ්‍යවේදීන් හමුවේ තරගයෙන් පසුව පවසා සිටියා.

දඟපන්දු යවන්නන් නිපන්දු යැවීම සහ අපේ පිතිකරුවන් තීරණාත්මක අවස්ථාවල දී දැවී යෑම තරගයේ හැරවුම් ලක්ෂයක් වුනා. පීඩනයක් සහිත අවස්ථාවල දී අප බිඳ වැටෙන ආකාරය එයින් පෙන්නුම් කළා. අපට හැකියාවන් වගේම පීඩනයක් සහිත අවස්ථාවල දී කටයුතු කරන ආකාරයත් අවසන් පන්දුවාරවල දී ක්‍රීඩා කළ යුතු ආකාරයත් ඉගෙන ගත යුතුව තිබෙනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පවසා සිටියා.

අවසන් පන්දුවාරවල දැඩි ප්‍රහාරයකට ලක්වූ එබ්දත් හුසේන් අවසානයේ ලකුණු 51කට කඩුලු 3ක් ලබා ගත් නමුත් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු කිහිපය බිඳ දැමූ ඔහුට ප්‍රශංසා කිරීමට ද ශකිබ් අමතක කළේ නැහැ. මෙවැනි පීඩනය අධික තරග වේගපන්දු යවන්නෙක්ට ඉතා හොඳ අත්දැකීමක් බවත් ඔහු පවසා සිටියා.

එබදත් මීට පෙර ටෙස්ට් තරගවලට ක්‍රීඩා කර තිබුනත් ඔහු සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරේ ඉතාමත් අඩුවෙන්. මෙවැනි අවස්ථාවක් ඔහුට නැවුම් අත්දැකීමක්. ඔහු ඉගෙන ගත යුතු දේවල් බොහොමයක් තිබෙනවා. ඔහුගේ මුල් පන්දුවාර කිහිපය අපව තරගයට අවතීර්ණ කළා. මම හිතුවේ ඔහු අද අපේ හොඳම පන්දු යවන්නා වෙයි කියලා. අපි හිතුවේ ඔහු හොඳ රිද්මයක ඇති කියලා නමුත් අවාසනාවට එය සිදු වුනේ නැහැ,” යනුවෙන් ශකිබ් පැවසුවා.

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට සංචාරය කරන විට ඔවුන්ට වේගපන්දු යවන්නන් 4ක් හෝ 5ක් අවශ්‍ය බව ශකිබ් පවසා සිටියා.

මෙවැනි තණතීරුවක බොහෝ අවස්ථාවල පන්දුවාර 12ක් වේගපන්දු යවන්නන් විසින් යොමු කළ යුතුයි. අපි මේ තරග දෙකේ වේගපන්දු යවන්නන් 4 දෙනෙක් භාවිතා කළා. අපිට ඒ වගේ හතරක් හෝ පහක් අවශ්‍ය වෙනවා. ඕස්ට්‍රේලියාවේ දී අපිට වේගපන්දු යවන්නන් මත තමයි යැපෙන්න වෙන්නෙ,” යනුවෙන් ලෝක කුසලානය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළා.

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<