ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගයට පෙර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

2662

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා ඩුබායි රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය ලෙසින් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයයි. මෙය රාත්‍රී තරගයක් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

18 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයත්, සහ 17 දෙනෙක්ගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන සංචිතයත් මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තම පුහුණුවීම්වල නිරත වෙන්නේ තරගාවලියේ ආරම්භක තරගයේ දී ම තම තමන්ගේ කණ්ඩායම්වලට හොඳ ආරම්භයක් ලබා ගැනීමේ අරමුණෙන්.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරන අතර ඇෆ්ගනිස්ථානයට අමතරව බංග්ලාදේශය ද මෙම කාණ්ඩයට අයත්. A කාණ්ඩය වෙනුවෙන් ඉන්දියාව, පාකිස්ථානය සහ හොංකොං රාජ්‍යයන් තරග වැදීමට නියමිතයි.

  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) චරිත් අසලංක, අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, නුවනිඳු ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ශාන් මධුශංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, මතීෂ පතිරණ, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ
  • ඇෆ්ගනිස්ථාන සංචිතය: Mohammad Nabi (නායක), Najibullah Zadran (උප නායක), Afsar Zazai, Azmatullah Omarzai, Fareed Ahmad, Fazalhaq Farooqi, Hashmatullah Shahidi, Hazratullah Zazai, Ibrahim Zadran, Karim Janat, Mujeeb Ur Rahman, Najibullah Zadran, Naveen-ul-Haq, Noor Ahmad, Rahmanullah Gurbaz, Rashid Khan, Samiullah Shinwari

දසුන්ට මෙම තරගයේ ආරම්භයට පෙර මුහුණ දීමට සිදු වෙන ප්‍රධාන ම ප්‍රශ්නය වන්නේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නම් කිරීමයි. ධනුෂ්ක ගුණතිලක සමඟ අනෙක් අන්තයට කුසල් මෙන්ඩිස් ද පැතුම් නිස්සංක ද යන උභතෝකෝටිකය මතු වීම ඊට හේතුවයි.

අපගේ විශ්වාසය වනුයේ ඊට වඩාත් සුදුස්සා කුසල් මෙන්ඩිස් බවයි. ඒ ධනුෂ්කට වඩාත් ගැලපෙනුයේ ඔහු බැවින්. ඒ බැව් පෙර තරග පෙන්වා දී තිබේ. යම් ලෙසකින් එසේ වුවහොත් පැතුම් අංක එක පිතිකරු ලෙසින් බොහෝ විට පිටියට පිවිසීමට ඉඩ තිබේ.

චරිත් අසලංක, ධනංජය ද සිල්වා මෙන් ම නායක දසුන් ශානක ද පිතිකරුවෙන් ලෙසින් වැඩි වගකීම් හී නිරත පුද්ගලයන් ලෙසින් කණ්ඩායමට එකතු වෙනු ඇත. ඊට අමතර ව දිනේෂ් චන්දිමාල් හෝ භානුක රාජපක්ෂ වෙත ද ස්ථානයක් ලබා දීමට ඇති හැකියාව ද ඔවුන්ගේ අවධානයට ලක් වෙනු නොඅනුමානයි.

මේ තෝරාගැනීමේ දී කඩුලු රකින්නාගේ භූමිකාවට යොදා ගන්නේ කුසල් ද, චන්දිමාල් ද යන ප්‍රශ්නය ද තීරණාත්මක වනු නිසැකයි.

පන්දු යැවීමේ දී ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසින් නම් වන්නේ වනිඳු හසරංගයි. ඔහු සමඟ මහීෂ් තීක්ෂණ ද නම් කෙරෙනු ඇත. ප්‍රවීන් ජයවික්‍රම සහ ජෙෆ්රි වැන්ඩර්සේ කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය හැකි වූව ද ඔවුන්ට බොහෝ විට සිදු වන්නේ අතිරේක ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමට එක් වීම ය.  ඒ ධනංජය ද සිල්වා මෙන් ම චරිත් අසලංක ද අවශ්‍ය අවස්ථාවල දී දඟපන්දු යවන්නන්සේ දක්ෂතා දක්වන බැවිනි.

වේගපන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීමේ දී චාමික කරුණාරත්නට ස්ථීර ස්ථානයක් හිමි වෙද්දී ප්‍රමෝද් මධුශාන් සහ මතීෂ පතිරණ අතර තරගයක් ඇති වෙනු නියතයි. ඒ අතුරින් බොහෝ විට මතීෂ පතිරණ මෙම තරගයට නම් වෙනු ඇත යන්න අපගේ විශ්වාසයයි.

හෙට තරගයට නම් කෙරෙතැයි සිතිය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (නායක) දිනේෂ් චන්දිමාල්/ භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ / ප්‍රමෝද් මධුශාන්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නම් කිරීමේ දී ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ ඉදිරි පෙළ පිතිකරුවන් වන Hashmatullah Shahidi සහ Samiullah Shinwari යන දෙදෙනා ම ද නොමැති නම් ඉන් එක් අයෙක් යොදා ගනිමින් තරගයට අවතීරණ වෙනවා ද යන්නයි. ඔවුන් දෙදෙනා අතරින් බොහෝ විට කණ්ඩායමට එක් වෙනු ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Samiullah Shinwari විය යුතුයි.

ඊට අමතර ව වමතින් මද වේගපන්දු යවන Fareed Ahmad ද Fazalhaq Farooqi යන ප්‍රශ්නය ද පැන නැගෙනු ඇත. මේ අතරින් මේ වන විට දක්ෂතා අතුරින් ඉහළින් සිටින Fazalhaq Farooqi කණ්ඩායමට එක් වෙතැයි විශ්වාස කළ හැකියි.

හෙට තරගයට නම් කෙරෙතැයි සිතිය හැකි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම

Hazratullah Zazai, Rahmanullah Gurbaz, Ibrahim Zadran, Hashmatullah Shahidi / Samiullah Shinwari, Najibullah Zadran, Mohammad Nabi (නායක), Azmatullah Omarzai, Rashid Khan, Naveen-ul-Haq, Mujeeb Ur Rahman, Fareed Ahmad /Fazalhaq Farooqi

තරග ඉතිහාසය අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස තරගයක් සඳහා හමුවෙන දෙවැනි අවස්ථාවයි මේ. මීට පෙර ඔවුන් හමුව, මේ ගෙවී යන්නේ හය වැනි අවුරුද්දයි.

එම තරගය 2016 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී පැවැත්වෙන අතර එදා එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. එදා එම කණ්ඩායම වෙනුවෙන් මෙවර කණ්ඩායමේ ද සිටින දිනේෂ් චන්දිමාල් ද එක් ව සිටි අතර ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මෙවර නායක Mohammad Nabi සහ උපනායක Najibullah Zadran ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකාව මේ තරගාවලිය සඳහා සහභාගී වන්නේ ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 8 වැනි ස්ථානයට පත් වෙමින්. ඔවුන් තරගාවලියට එක් වීමේ දී යම් පන්නරයක් ලබා ගත්තේ නම් නිමා වූ ඕස්ට්‍රේලියා සංචාරයේ දී ටෙස්ට් සහ එක්දින තරග නිමා කිරීම් හී පෑ දක්ෂතා පමණයි.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වු විස්සයි විස්ස තරග 5 ප්‍රතිඵල

තීරණය එරෙහි තරගය දිනය විසඳුම
ජය ඕස්ට්‍රේලියාව 3 තරගය 11-06-22 ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්
පරාජය ඕස්ට්‍රේලියාව 2 තරගය 08-06-22 ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්
පරාජය ඕස්ට්‍රේලියාව 1 තරගය 07-06-22 ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්
පරාජය ඉන්දියාව 3 තරගය 27-02-22 ඉන්දියාවට කඩුලු 6ක ජයක්
පරාජය ඉන්දියාව 2 තරගය 26-02-22 ඉන්දියාවට කඩුලු 7ක ජයක්

 

ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හී ඇෆ්ගනිස්ථානයට හිමි ස්ථානය 10. එසේ වූවත් ඔවුන් තම අවසන් විස්සයි විස්ස තරගවල දී සුපැහැදිලි ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අතර ද්විත්ව රටවල් තරගාවලි 7ක පිට පිට ජයග්‍රහණ ඔවුන් සතුයි.  එම ගමන වැළකෙන්නේ බංග්ලාදේශය සමඟ පැවැති තරගාවලිය සම වීමෙන්. කෙසේ වෙතත් ඊට පසුව පැවැති සිම්බාබ්වේ තරගාවලිය ද ජය ගන්නා ඔවුන් අවසන් වරට පැවැති අයර්ලන්ත සංචාරයේ දී 2-3ක පරාජයක් ලබනවා.

ඇෆ්ගනිස්ථානය අවසන් වරට සහභාගී වූ තරග 5 ප්‍රතිඵල

තීරණය එරෙහි තරගය දිනය විසඳුම
පරාජය අයර්ලන්තය 5 තරගය 17-08-22 අයර්ලන්තයට කඩුලු 7ක ජයක් (DLS)
ජය අයර්ලන්තය 4 තරගය 15-08-22 ඇෆ්ගනිස්ථානය ලකුණු 27ක ජයක්
ජය අයර්ලන්තය 3 තරගය 12-08-22 ඇෆ්ගනිස්ථානයට ලකුණු 22ක ජයක්
පරාජය අයර්ලන්තය 2 තරගය 11-08-22 අයර්ලන්තයට කඩුලු 5ක ජයක්
පරාජය අයර්ලන්තය 1 තරගය 09-08-22 අයර්ලන්තයට කඩුලු 7ක ජයක්

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ දී මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ තරග 3ක් පමණයි. එම තරග ත්‍රිත්වයෙන් තරගයක් ජයග්‍රහණය කරමින් ඉතිරි තරග 2 පරාජය වී තිබුණ ද ජයග්‍රහණය කරන ලද පාකිස්තානය හා සමඟ තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 211ක් ලබා ගනිමින් වාර්තා අතරට එක් වීමට සමත් වෙනවා.

ඒ මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙමින්.

ඇෆ්ගනිස්ථානය මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ දී තරග 9ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 6ක් ජයග්‍රහණය කරමින් 3ක් පරාජය වී තිබෙනවා.

මේ තොරතුරුත් සමඟ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වන පරිභාහිර සැලසුම් ද ඉතා වැදගත් වෙනවා. ඒ අතර ක්‍රීඩාංගණයේ ස්වභාවය සහ කාසියේ වාසිය ද ඉදිරියෙන් ම කියැවෙනවා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවැති තරග 5 දී ම කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් ඒ සෑම තරගයක් ම ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙනවා. හෙට තරගයේ දී දසුන් මෙම කරුණ කෙරෙහි සේ ම ක්‍රීඩාංගණයේ තණතීරුවේ ද තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

තරගාවලියේ උණුසුම් පුවත් සමීප කරවීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<