සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා ස්ථීරයි

676

2026 පාපන්දු ලෝක කුසලාන සහ 2027 ආසියා කුසලානය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික අදියරේ පළමු වටයේ තරග සඳහා කුසපත් ඇඳීම අද (27) මැලේසියාවේ දී සිදු කෙරුණා.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේ ප්‍රතිවාදියා ලෙස යේමන් කණ්ඩායම තේරී පත් වූ අතර තරග දෙකකින් සමන්විත වන මෙම වටයේ තරග ඔක්තෝබර් 12 සහ 17 යන දෙදින පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ දී කණ්ඩායම් සිය සත්කාරකත්වය යටතේ සහ අනෙක් කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම පළමු වටය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරන අතර එම කණ්ඩායම් වලින් ජයග්‍රහණ ලබා ගන්නා කණ්ඩායම් සුදුසුකම් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් සමඟ එක් වෙනවා.

මූලික වටයේ තරග කාලසටහන

එම දෙවැනි වටයේ කණ්ඩායම් කුසපත් ඇදීම මෙතෙක් සිදු කර නොමැති නමුත් එය ද අද සවස් වරුවේ දී සකසා අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

දෙවැනි වටයේ දී කණ්ඩායම් 36 කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ නවයකට බෙදා වෙන් කිරීමට නියමිත අතර එම දෙවැනි වටයේ තරග මෙම වසරේ නොවැම්බර් සහ ලබන (2024) වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

එම වටයේ දී සිය කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තෙවැනි වටයට සහ 2027 ආසියා කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

පනවා ඇති පාපන්දු තහනම නිසා මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ප්‍රශ්නාර්ථයක් ව තිබූ නමුත් කොන්දේසි කිහිපයක් යටතේ මම තරග කාලසටහන සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවසර හිමිව තිබුණා.

මෙම තරගාවලිය ආරම්භ වීමට දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දී තිබෙන අතර එම කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන්ට හැකි වුවහොත් පමණක් මෙම තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකාවට අවසර හිමි වෙනවා.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<