“තරගාවලිය අභියෝගාත්මකයි, මට මගේ කණ්ඩායම විශ්වාසයි”

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

334

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් 2022 තරගාවලියට සහභාගි වීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24) සවස ඩුබායි බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටය යටතේ පළමුව අගෝස්තු 27 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත්, සැප්තැම්බර් 01 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් ඩුබායි හිදී තරග වදිනු ඇති. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැරුණු කොට සාජා ක්‍රීඩාංගණයේ ද තරග පැවැත්වෙනු ඇත.

ආසියානු කුසලාන තරගාවලිය යනු දැඩි අභියෝගාත්මක තරගාවලියක් වුවත්, ප්‍රතිවාදී කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා වඩාත් වැදගත් වන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ විශ්වාස තැබීම බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක සඳහන් කර සිටියා.

ආසියානු කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර ඊයේ (24) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක ඉහත අදහස් පළ කර සිටියා.

“අනිවාර්යයෙන්ම අභියෝගයක් තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියක් කියන්නේ අභියෝගයක්,” යැයි පවසන ශානක, මූලික වටයේ ඇති අභියෝගය පිළිබඳව මෙසේ අදහස් පළ කර සිටියා.

“මූලික වටයේ දී අපිට හොඳ තරග 2ක් තියෙනවා. අපි දන්නවා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ මොන වගේ ද විස්සයි විස්ස තරගවල දී ක්‍රීඩා කරන්නේ. නමුත් මම හිතන්නේ අනිත් කණ්ඩායම්වල දක්ෂතාවලට වඩා අපේ කණ්ඩායමේ දක්ෂතා හොඳ මට්ටමක තියෙනවා කියලා. මට අපේ කණ්ඩායම ගැන තමයි විශ්වාසය තියෙන්නේ. අපේ ක්‍රීඩකයින්ට උපරිමයටම එන්න පුළුවන් නම් මේ තරගාවලිය ජයග්‍රහණය කරන එක අමාරුවක් නෑ,” යැයි ශානක සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ දී ඩොලර් මිලියන 6.5ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩය යටතේ තරග වදින අතර ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං කණ්ඩායම ‘A’ කාණ්ඩය නියෝජනය කරනවා.

කණ්ඩායම සතුව නවක ක්‍රීඩකයින් රැසක් සිටින බවත්, ඔවුන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිමය කිරීම සඳහා ඔවුන් දැඩි උනන්දුවකින් පසුවන බව ද ශානක අවධාරණය කර සිටියා.

මෙම තරගාවලියට පෙර පැවති ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ දී හොඳ සූදානමක් ලැබුණු බව ද මෙම අවස්ථාවේ දී ශානක සඳහන් කර සිටියා. ඇෆ්ගනිස්තානයට පෙර පැවැත්වෙන පළමු තරගයට පෙර ශ්‍රී ලංකාව දින දෙකක කාලයක් පුහුණුවීම්වල නිරත වීමට නියමිතයි.

“ඇත්තටම පිතිකරුවන්ගෙන් තමයි මේ තරගාවලිය තීරණය වෙන්නේ. මොකද පිතිකරුවන්ට හොඳින් දක්ෂතා දක්වන්නට පුළුවන් නම් මං හිතන්නේ අපිට හොඳ පන්දු යැවීමේ බල ඇනියක් සිටිනවා. දුෂ්මන්ත (චමීර) ආබාධයකට ලක් වුනත්, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ වගේම, T20 තරග අංශයට තරුණ ක්‍රීඩකයින් අසිත ප්‍රනාන්දු ඩිල්ෂාන් මදුශංක වගේ නවකයින් දක්ෂතා අතර සිටිනවා. ඒ නිසා මේ තරගාවලිය අපිට හොඳ තරගාවලියක් වෙයි,” යැයි දසුන් කියයි.

ඉනිම ආරම්භ කිරීම සඳහා කණ්ඩායම තුළ ආරම්භක පිතිකරුවන් තිදෙනෙක්. කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක ඔවුන් තිදෙනා වන නමුත් මොවුන් තිදෙනාගෙන් එක් අයෙකුට ඇතැම් විට පිතිකරණ ලැයිස්තුවේ පහළට යෑමේ වැඩි ඉඩක් පවතින බව ද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියා.

“තුන් දෙනෙක් ඉන්නවා ඉනිම ආරම්භ කරන්න. ආරම්භ කරන්නේ කවුද කියන එක තවදුරටත් අපි සාකච්ඡා කරනවා. මොකද පැතුම් නිස්සංක පසුගිය කාලවකවානුව තුළ හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ වගේම කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක.

ඉතිං කණ්ඩායම සමබර කිරීම සඳහා මොවුන්ගෙන් කාටහරි පල්ලෙහාට යන්න හැකියාවක් තියෙනවා. නමුත් හම්බවෙන ඕනෑම තැනක ක්‍රීඩා කරන්න ක්‍රීඩකයින් සූදානමින් සිටිය යුතුයි,” යැයි ශානක අදහස් දක්වා සිටියා.

මූලික වටයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 4 සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත. එම තරගාවලිය අවසානයේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් දෙක අතර වන අවසන් මහා තරගය සැප්තැම්බර් 11 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

2018 වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ආසියානු කුසලාන තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව වන්නේ ද, ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිත, 15 වැනි ආසියානු කුසලාන තරගාවලියයි. කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මෙම තරගාවලිය අවසන් වසර 4 තුළ දී පැවැත්වීමට හැකි වුනේ නැහැ.

1984 වසරේ දී ආරම්භ වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගාවලිවල දී වැඩිම අවස්ථාවක් (1984, 1988, 1990, 1995, 2010, 2016, 2018) ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව (7) සමත් වෙද්දී, ශ්‍රී ලංකාව අවස්ථා 5ක දී (1986, 1997, 2004, 2008, 2014) ශූරතාව දිනාගෙන සිටිනවා.

පාකිස්තානය අවස්ථා දෙකක දී ද (2000, 2012) ආසියානු ශූරතාවට හිමිකම් කියා තිබෙනවා. විස්සයි විස්ස තරග ආකෘතියට අනුව ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙයයි.

මෑත කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටින ප්‍රගතිය දෙස අවධානය යොමු කිරීමේ දී මෙවර තරගාවලියේ දී ශූරතා කුසලාන දිනා ගත හැකි කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස විචාරකයින් ශ්‍රී ලංකාව හඳුන්වා සිටිනවා. අවසන් වසර දෙක ඇතුළත විස්සයි විස්ස පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ පෙරළිකාර දක්ෂතා එයට තිබෙන හේතුවයි.

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<