Pooranව කණ්ඩායමට ගත්තාට Gambhirට හේතු දක්වන්නත් සිද්ධ වෙලා!

India premier league 2023

1674

පසුගිය දා පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේ දී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු Nicholas Pooranව Lucknow Super Giants (LSG) කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 16ක් වියදම් කරමින් මිල දී ගැනීම සාධාරණීකරණය කරමින් කණ්ඩායම් උපදේශක Gautham Gambhir විසින් හේතු දක්වා තිබෙනවා.

පසුගිය සතියේ පැවැත්වුණු 2023 IPL තරගාවලියට අදාළව මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී IPL ඉතිහාසයේ ඉහළතම මිලක් හිමිකර ගනිමින් කෝටි 18.50ක මුදලකට එංගලන්ත ක්‍රීඩක Sam Curranව වෙන්දේසි වූ අතර, ඉන්පසුව ඕස්ට්‍රේලියාවේ Cameron Green, නැවතත් සහ එංගලන්තයේ Ben stokesව ද ඉහළ මිල ගණන්වලට වෙන්දේසි වුනා.

ඉන්පසුව වෙන්දේසියට පැමිණි Nicholas Pooran හට ද IPL ඉතිහාසයේ පස්වැනි වැඩිම ලංසුව හිමි වූ අතර, බොහෝ දෙනෙකු එය මුදල් අපතේ හැරීමක් බව සහ Pooran ලක්නව් කණ්ඩායම් සංයුතියට නොගැළපෙන බවත් ප්‍රකාශ කළා.

Pooran විසින් සිය රට වෙනුවෙන් මෙන්ම බොහෝ විස්සයි විස්ස ලීග් තරගාවලිවල දී ද සිය ප්‍රහාරාත්මක පිතිකරණ දක්ෂතාවන් පෙන්වා ඇති නමුත් 2022 IPL තරගාවලියේ Sunrises Hyderabad නියෝජනය කළ ඔහු බලාපොරොත්තු වූ තරම් දායකත්වයක් සිය කණ්ඩායමට ලබා නොදුන් බව බහුතරයකගේ අදහසයි.

ඔහු ගියවර තරගාවලියේ දී තරග 14කින් ලකුණු 306ක් රැස් කළේ අර්ධ ශතක දෙකක් සහ 144 ඉක්මවූ ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා ගෙනයි.

නමුත් ගියවර තරගාවලියේ දී Sunrises කණ්ඩායමට Playoff වටයට පිවිසීමට නොහැකි වුන අතර ඔවුන් මූලික වටයේ තරග 8ක් පරාජය වුනා.

කෙසේ වෙතත් ලක්නව් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන Gautham Gambhir විසින් Pooranට හිමි වූ මෙම ඉහළ වටිනාකම සාධාරණීකරණය කරමින් ඉන්දීය රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වා තිබුණා.

මම කලින් තරගවාර ගැන නෙවෙයි බැලුවේ, මම බැලුවේ ක්‍රීඩකයාගේ හැකියාව සහ ඔහුට තරගයකට කරන්න පුළුවන් බලපෑම ගැන. මේ තරගාවලියේ ලකුණු 500-600 ගහන එක ගැන නෙවෙයි මම බැලුවේ, ඒ ක්‍රීඩකයාට තරග දෙකක් හෝ තුනක් දිනවලා දෙන්න පුළුවන් ද කියන දේයි මම බැලුවේ. ඔහුට වයස තියෙනවා, ඔහු වගේ ක්‍රීඩකයෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඔහු වටා ඔබේ කණ්ඩායම ගොඩ නගන්න.

මම බලන්නේ මේ තරග වාරය ගැන විතරක් නෙවෙයි, ඔහුව අපට ඉදිරියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වයස් සීමාව ඇතුළේ (27-28) මේ වගේ හැකියාවන් තියෙන ක්‍රීඩකයින් ඉතාමත් සුළු පිරිසයි ඉන්නේ. Pooran ඉදිරියේ දී තවත් හොඳ වෙයි.

මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි වාර්තා ඔබට ප්‍රවෘත්ති සිරස්තල මවලා දෙන අතරේ, ක්‍රීඩකයින්ගෙන් එල්ල වන බලපෑම තරග දිනවලා දෙනවා කියන එක.”

එමෙන්ම Pooranව මෙම ලක්නව් කණ්ඩායමේ තරග අවසන් කරන්නාගේ භූමිකාව සඳහා භාවිත කිරීමට බලාපොරොත්තු වන බව ද Gambhir හෙළිදරව් කර තිබුණා.

ඔහු භාවිතා කරන්නේ තරග අවසන් කරන්නා විදිහට. මට හරියටම කණ්ඩායම නම් කරලා කියන්න බැහැ. ඒත් අපට දැන් Stoinis, Pooran සහ de Cock කියන ක්‍රීඩකයින් තිදෙනා ම ඉන්නවා. ඒ වගේම දැන් Impact Player නීතියත් තියෙනවා. ඒ දේවල් සලකා බලලා තමයි අපට මුල් ක්‍රීඩකයින් එකොළොස් දෙනාව තෝරන්න වෙන්නේ. තරගයේ දී ක්‍රීඩක ආදේශයක් සිදු කරන්න අවශ්‍ය වුනොත් දැන් අපිට මේ ක්‍රීඩකයින් ඉන්නවා.”

2023 IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<