කොකේන් හි අඳුරු පැතිකඩ ගැන Wasim Akram කතා කරයි

13104

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන නාමයක් සටහන් කළ විශිෂ්ට ක්‍රීඩක Wasim Akram පසුගිය දා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණා.

සිය ස්වයං චරිතාපදානය පිළිබඳව සඳහන් කරමින් Wasim Akram පවසා සිටියේ 2003 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔහු කොකේන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි බවයි. පසුව 2009 වසරේ දී ඔහුගේ පළමු බිරිඳ මියයාමෙන් පසුව ඉන් ගැලවුනු බවත් Wasim Akram පවසනවා.

Wasim Akram වසර 18ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිය ආධිපත්‍ය පැතිරූ අතර ඔහුගේ ක්‍රිකට් දිවිය සහ එහි අරගල පිළිබඳව සඳහන් වන ස්වයං චරිතාපදානය Sultan: A Memoir ලෙසින් නිකුත් වීමට නියමිතයි.

ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් දෙකේම පාකිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා වන Wasim Akram සිය වසර 18ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන්නේ 2003 දීයි. විශ්‍රාම ගිය නමුත් විස්තර විචාරකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඔහු දිගටම ලොව පුරා සංචාරය කර තිබුණා.

කොකේන් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම ආරම්භ වූයේ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුව බව Wasim Akram පවසනවා. තරගය තුළ පවතින ඇඩ්‍රිනලින් වලට ආදේශකයක් ලෙස තමන් කොකේන් වලට පුරුදු වූ බවත්, ඒ සඳහා ආශා කිරීමට පටන් ගත් බවත් Wasim Akram පවසනවා.

ඉන් වසර 6කට පසු එනම් 2009 දී ඔහුගේ පළමු බිරිඳ Huma Muftiගේ මරණයෙන් පසුව එය අවසන් වූ බවත් Wasim Akram තවදුරටත් පවසනවා.

ටයිම්ස් පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් එයට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ පොතෙන් කළ උපුටා ගැනීම් Wasim Akram ඇබ්බැහි වීම පිළිබඳව මනා අවබෝධයක් සපයනවා.

මම විනෝද වෙන්න කැමති කෙනෙක්. ඒ වගේම මම සාදවලට කැමති කෙනෙක්. දකුණු ආසියාවේ කීර්තිමත් සංස්කෘතිය සියල්ල පරිභෝජනය කරන, රැවටිලිකාර සහ දූෂිත එකක්. ඔබට එක් රාත්‍රියකට සාද දහයකට යන්න පුළුවන්. සමහරුන් එසේ ක‍රනවා. එය මට විශාල හානියක් වුනා. ඒ සියල්ලටම වඩා නරකම දෙය වුනේ මම කොකේන් වලට ඇබ්බැහි වුනා. කොකේන් මත යැපෙන්න පුරුදු වුනා. එංගලන්තයේ එක්තරා සාදයක දී මට කොකේන් පිරිනැමුවා. එය ඉතා අහිංසක ලෙස ආරම්භ වුනේ. ඒත් මගේ භාවිතය ක්‍රමානුකූලව වඩාත් බැරෑරුම් ලෙස වර්ධනය වුනා. මට ජීවත් වෙන්න ඒක අවශ්‍ය යැයි සිතුණා,” Wasim Akram පවසනවා.

ඒ ඇබ්බැහිය මාව දුර්වල කළා. ඒක මාව රැවටුවා. මම දැනගෙන හිටියා මගේ බිරිඳ Huma කරච්චිවලට යාමට ආසාවෙන් හිටියා කියලා. ඇගේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන්ට ළං වෙන්න ඇයට ඕනේ වුනා. ඒත් මම පසුබට වුනා. ඇයි? මම තනියම කරච්චි යන්න කැමති නිසා. යම් රාජකාරියක් කියලා මම කරච්චි වලට යනවා. ඇත්ත වශයෙන්ම මම යන්නේ සාදයකට. බොහෝ විට දින ගණනක් එක දිගට වැඩ කරන බව මවාපාමින් මම එහි හිටියා.

“Huma අවසානයේ මාව සොයාගත්තා. ඇය මගේ මුදල් පසුම්බියේ තිබී කොකේන් පැකට්ටුවක් සොයා ගත්තා. ඇය කිව්වා ඔබට උදව් අවශ්‍යයි.කියලා. මම ඒ වෙලාවේ ඒකට මම එකඟ වුනා. මට තේරිලා තිබුණා මට මගේ ජීවිතය අතපසු වෙනවා කියලා. මට ඒක පාලනය කරගන්න බැරි වුනා. එක් කොකේන් මාත්‍රාව දෙකක් වෙනවා, දෙකක් හතරක් වෙනවා, හතරක් ග්‍රෑම් එකක් වෙනවා, ග්‍රෑම් එකක් දෙකක් වෙනවා. මට නිදාගන්න බැහැ, මට කන්න බැහැ. මගේ දියවැඩියාව ගැන මම නොසැලකිලිමත් වුනා. ඒ වගේම මට හිසරදය හැදෙනවා. මගේ මානසිකත්වය වෙනස් වුනා. බොහෝ ඇබ්බැහි වූවන් මෙන් මම මේ ඇබ්බැහි වීම සාදරයෙන් පිළිගත්තා. ඒත් රහස්‍යභාවය තියාගැනීම වෙහෙසකර වුනා.”

සිය බිරිඳගේ බලපෑම මත Wasim Akram පුනරුත්ථාපනය වෙත ගොස් තිබූ අතර එහි දී ලැබූ අත්දැකීම් දුක්ඛිත බව ඔහු පවසනවා.

ඒ වෛද්‍යවරයා සම්පූර්ණ ව්‍යාජ මිනිසෙක්. ඔහු මූලික වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරනවාට වඩා පවුල් හැසිරවීමට සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට වඩා ඥාතීන් මුදලින් වෙන් කිරීමට ක්‍රියා කළා. මම කෙතරම් උත්සාහ කළත්, මට සිදු වූ දේ පිළිබඳ යම් අගෞරවයක් මගේ හිතේ තිබුණා. මගේ උඩඟුකම නිසා මටම වේදනාවක් තිබුණා. මගේ ජීවන රටාවේ ආකර්ෂණය ඉතිරි වෙලා තිබුණා. මම දික්කසාදය ගැන කෙටියෙන් කල්පනා කළා. මම 2009 චැම්පියන්ස් කුසලාන තරගාවලියට යන්න තීරණය කළා. එහි දී, Humaගේ දෛනික නිරීක්ෂණයට යටත් වෙලා හිටියත්, මම නැවත කොකේන් භාවිතා කිරීමට පටන් ගත්තා,” Wasim Akram පවසා සිටිනවා.

කෙසේ වෙතත් 2009 ඔක්තෝබර් මාසයේ දී Huma මරණයෙන් පසු සිය කොකේන් භාවිතය අවසන් වූ බවත් Akram පවසනවා. දුර්ලභ දිලීර ආසාදනයක් වන mucormycosis නිසා Huma මියගොස් තිබුණා.

“Huma ඇගේ අවසන් කාලයෙත් ඇය ගැන හිතන්නේ නැතුව මගේ මත් ද්‍රව්‍ය ප්‍රශ්නයෙන් මාව බේරගන්න උත්සාහ කළා. ඇගේ මරණය එක්ක මගේ මත් ද්‍රව්‍ය ජීවිතය අවසන් වුනා. මම කිසි දිනෙක ආපසු හැරී බැලුවේ නැහැ.”

Wasim Akram පසුව නැවත විවාහ වී ඇති අතර දැන් ඔහුට දරුවන් තිදෙනෙකු සිටිනවා. ඒ ඔහුගේ පළමු විවාහයෙන් පුතුන් දෙදෙනෙකු සහ ඔහුගේ දෙවැනි විවාහයෙන් දියණියක් ලෙසින්. ටයිම්ස් පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ මේ ස්වයං චරිතාපදානය තම දරුවන් වෙනුවෙන් ලියා ඇති බවයි.

“මම මේ පොත ගැන ටිකක් ආතතියට පත්වෙලා ඉන්නේ. නමුත් මම හිතනවා එය නිකුත් කළ පසු ඒ හැඟීම ඉක්මවා යනු ඇතැයි කියලා. මම ආතතියට පත්වෙලා සිටින්නේ මට වයස අවුරුදු 56ක් සහ මම අවුරුදු 25ක දියවැඩියා රෝගියෙක්, ඒක මානසික ආතතියක් විතරයි. මට හැමදේම ආයෙත් බලන්න අමාරු වුනා. මම මේ දේ කළේ මගේ අවුරුදු 25 සහ 21 වැනි පිරිමි ළමයින් දෙදෙනා සහ මගේ හත් හැවිරිදි දියණිය වෙනුවෙන්, කතාවේ මගේ පැත්ත කියන්න ඕනේ වුන නිසා.”

Cricinfo ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<