2011 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂ විමර්ශනය අවසන්

284

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් මතු වූ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් දියත් කරන ලද විශේෂ විමර්ශනය අවසන් කිරීමට තීරණය කළ බව ක්‍රීඩා දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පවසා සිටියි.

වැඩ කරපු ක්‍රිකට් විරුවා උත්තර බඳියි

මේ දක්වා කැඳවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා (කුමාර සංගක්කාර, අරවින්ද ද සිල්වා සහ උපුල් තරංග) ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් දියත් කරන ලද විශේෂ විමර්ශන නිලධාරීන් හමුවේ සිදු කළ ප්‍රකාශ අව්‍යාජ වන බවත්, ඒවා එකිනෙකට පරස්පර නොවන බවත්, තරගාවලිය අතරතුර සංචිතය වෙනස් වීමට ප්‍රායෝගික හේතු ඔවුන් විසින් නිවැරදිව සහ සාධාරණ ලෙස හෙළි කර තිබෙන බව ෆොන්සේකා මහතා පැවසීය.

ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව තරග වැදුණු අවසන් මහා තරගය මුදලට ‌හෝ වෙන යම්  දෙයකට පාවා දුන් බවත්, ඒ් පිළිබදව පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් එවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය ජුනි 18 වැනිදා රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ප්‍රකාශ කරන ලදි.

Video – 2011 ශ්‍රී ලංකා – ඉන්දීය අවසන් තරගය; තරග පාවාදීම් චෝදනාවේ ආගිය මුලගිය තැන්

වර්තමාන ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම පුවත ගැන අවධානය යොමු කර, අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව රුවන්චන්ද්‍ර මහතා විසින් වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කළ ලිඛිත පැමිණිල්ලක් අනුව මේ විශේෂ විමර්ශනය ආරම්භ විය.

මෙම විශේෂ විමර්ශන වාර්තාව රුවන්චන්ද්‍ර මහතා වෙත ඉතාමත් ඉක්මනින් යැවීමට කටයුතු කරන බවත්, අද (3) පෙරවරුවේ දී විශේෂ විමර්ශන ඒකකයේ ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී විමර්ශනය අවසන් කිරීමේ තීරණය සඳහා එළඹි බවත් ෆොන්සේකා මහතා පැවසීය.

විවිධ ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රකාශ වාර්තා කිරීම සඳහා කැඳවීම මේ වන විට රට තුල දැඩි ලෙස කතා බහකට ලක්වෙන ආකාරයේ අර්බුදයකට හේතු වී ඇති අතර එය ඉදිරියේ දී ප්‍රධාන ගැටලුවකට ද තුඩු දිය හැකි බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් කරුණු කාරණා පෙන්වා දුන්නේය.

Video – “මට වගකීමක් තියෙනවා ලංකාවේ ක්‍රිකට් වල ඉදිරි අනාගතය ගැන” – මහේල ජයවර්ධන

ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති ප්‍රකාශ තුනෙන් පෙනී ගොස් තිබුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දනන්ද අලුත්ගමගේ විසින් ඉදිරිපත් කරන ලද චෝදනා 14 ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

“2011 ICC ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳ මෑතක දී එල්ල වූ චෝදනා පිළිබඳව ICC දූෂණ විරෝධී ඒකකය විසින් සොයා බැලුවා. මේ අවස්ථාවේ දී ICC දූෂණ විරෝධී ඒකකයට විමර්ශනයක් ආරම්භ කිරීමට අවශ්‍ය තරම් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. එවකට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICC වෙත කිසිදු ලිපියක් ඒවා නොමැති අතර එම ලෝක කුසලාන අවසන් මහා තරගයේ විනිවිදභාවය ගැන සැක කිරීමට ICC ලෙස අපට කිසිම හේතුවක් නැහැ.

අපි මේ ආකාරයේ සියලු චෝදනා අතිශයින් බැරෑරුම් ලෙස සලකනවා. හැබැයි කිසිම පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව මේ වගේ ප්‍රකාශ කරන එක බරපතළයි. එම තරගයේ යම් පාවාදීමක් වී තිබේ නම් එය සනාථ කිරීම සඳහා අපට පිළිගත හැකි යම් සාක්ෂියක් ලැබෙන්නේ නම්, ICC දූෂණ විරෝධී ඒකකය හරහා විමර්ශනයක් ආරම්භ කරන්න අපිට පුළුවන්.

මෙම තරගය හෝ වෙනත් ඕනෑම තරගයක වංචාවක් වී තිබෙන බවට යම් ගැළපීම්වලට භාජනය වී ඇති බවට යමෙකුට පිළිගත හැකි සාක්ෂියක් තිබේ නම්, ICC දූෂණ විරෝධී කණ්ඩායමට ඒ විස්තර එවන්න කියලා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ICC දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවාදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතු කිසිවෙකුගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන නොමැති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිකුරාදා රාත්‍රියේ (3) පවසා සිටියේය.

ඇම්බ්‍රෝස්ගෙන් විශේෂ තීරණයක්

“මා විසින් කරන ලද ප්‍රකාශ පිළිබඳ පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. එහි දී මා සතුව තිබූ සියලුම තොරතුරු ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිව කිවුවා. මම දන්නේ නෑ පොලිස් ඒකකය කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන කැඳවුයේ කුමන පදනමකින් ද කියලා.

පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැති නිසා පරීක්ෂණය නතර කරා කියලා. මම කතා කළා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරීක්ෂණය තියන්න බෑ කියලා.

තරග පවා දීමේ පනත සම්මත වුනේ 2019 දී. මේ සිද්ධිය වුනේ 2011 දී. කුමාර් සංගක්කාර මහතාගේ නීතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබා දෙන්න අපි බැඳිලා නෑ කියලා. මොකද මේ පනත වැරදියි. එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරීක්ෂණය වැරදියි කියලා. පොලිසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා හිර ගත්තම පරීක්ෂණය අවසන්, තොරතුරු නෑ කියන්න බෑ.”

මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරීම් කමිටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්ත ද? සභාපතිගෙන් ගත්ත ද? විධායක නිලධාරීන්ගෙන් ගත්ත ද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නෑ. මම පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා. එක්කෙනෙක්ගෙන් කටඋත්තර අරගෙන පරීක්ෂණය වහන්න පුළුවන් ද?

මේ පනතට අනුව පොලිස් විමර්ශන ඒකකයට පරීක්ෂණ කරන්න බෑ. මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්. පොලිස් ප්‍රකාශකයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළා” යැයි  ඒ මහතා පවසා සිටියේය.

*අලුත්ගමගේ මහතා වැඩිදුර ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසු යාවත්කාලීන කරන ලද ලිපියකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<