ඉන්දියාවට එරෙහිව පහසු ජයක් ලැබූ පාකිස්තානය කිරුළ රැක ගනී!

ACC Men's Emerging Teams Asia Cup 2023

1659

ඊයේ (23) පැවැත්වුණු 2023 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දීය A කණ්ඩායමට එරෙහිව ලකුණු 128ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගත් පාකිස්තාන A කණ්ඩායම තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත් වුනා. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දියාව සතු වූ අතර, ඒ අනුව ඉන්දීය නායක Yash Dhullගේ ආරාධනයෙන් පාකිස්තානය විසින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසුණා.  

එසේ පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් වූ Saim Ayub (59) සහ Sahibzada Farhan (65) යන පිතිකරුවන් දෙදෙනා ම අර්ධ ශතක වාර්තා කරමින් පාකිස්තාන ඉනිමට ලකුණු 121ක විශිෂ්ට ආරම්භයක් ලබා දීමට සමත් වුනා. 

ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 146ක් වන විට ඔවුන් දෙදෙනා ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබූ අතර පසුව පාකිස්තාන ඉනිම නොසිතූ ලෙස බිඳ වැටීමට ලක් වුනේ ඔවුන්ගේ කඩුලු 5ක් ම ලකුණු 187ක් වන විට බිඳ වැටීමත් සමඟයි. ඒ වන විටත් පාකිස්තාන ඉනිමේ 29 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබූ අතර, ඒ මොහොතේ පිටියේ රැඳී සිටි Tayyab Tahirගේ සහයට Mubasir Khan පැමිණියා. 

ඔවුන් දෙදෙනා විසින් පාකිස්තාන ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. එහි වැඩි බරක් Tayyab විසින් දැරූ අතර ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස Tayyab දැවී යන විට ඔහු විසින් පන්දු 71ක් තුළ ලකුණු 108ක් ලබාගෙන තිබුණේ හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් ද සමඟිනුයි. 

Tayyabගෙන් පසුව පිටියට පිවිසි පාකිස්තාන පසු පෙළ පිතිකරුවන් විසින් ද තම රාජකාරිය අකුරට ඉටු කරමින් ඉනිමට විශිෂ්ට නිමාවක් ලබා දීමට සමත් වුනේ නියමිත පන්දුවාර 50 තුළ පාකිස්තාන ඉනිම ලකුණු 352ක් දක්වා ඉහළට ඔසවා තබමිනුයි. ඒ වන විට ඉන්දීය පන්දු යවන්නන් විසින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වී තිබුණේ පාකිස්තාන පිතිකරුවන් 8 දෙනෙකු පමණයි. 

මෙහි දී ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් Rajvardhan Hangargekar සහ Riyan Parag විසින් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.  

මේ අනුව පාකිස්තානය විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ අරමුණින් යුතු ව ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වූ Sai Sudharsan සහ Abhishek Sharma පිටියට පිවිසුණු අතර ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 8 පන්දු 3ක් තුළ වේගවත් ලකුණු 64ක් ඉන්දීය ඉනිමට එක් කිරීමට සමත් වුනා. 

නමුත් Sudharsanගේ ඉනිම ලකුණු 29කට සීමා වූ අතර ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය Abhishek ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුනා. 

Abhishekගේ ඉනිම ඉන්දීය ඉනිමේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූ අතර ඔහුගෙන් පසු පිටියට පිවිසි කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට හෝ සාර්ථක ඉනිමක් දියත් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඉන්දීය ආරම්භක පිතිකරු යුගලයට අමතරව ලකුණු 20 සීමාව හෝ ඉක්මවා යාමට සමත් වුනේ ඔවුන්ගේ නායක Yash Dhull (ලකුණු 39) පමණයි. 

ඒ අනුව සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි වීම නිසා ඉන්දීය ඉනිම පන්දුවාර 40ක් තුළ ලකුණු 224කට සීමා වුනා.  

මෙහි දී පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Sufiyan Muqeem විසින් ලකුණු 66කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඊට අමතරව Mohammad Wasim, Mehran Mumtaz සහ Arshad Iqbal අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

ඒ අනුව මීට පෙර පැවැත්වුණු 2019 නැගීඑන ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ පාකිස්තානය විසින් 2023 දී තරගාවලි ශූරතාව තවදුරටත් තමන් සන්තකයේ ම තබා ගැනීමට සමත් වුනා.  

එමෙන්ම මෙතෙක් තරගාවලි ඉතිහාසයේ ශූරතා දෙක බැගින් ජයග්‍රහණය කරමින් වැඩිම වරක් ශූරතාව හිමි කර ගැනීමේ වාර්තාව ද (ශ්‍රී ලංකාව ද අවස්ථා දෙකක දී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබෙනවා.) පාකිස්තානය විසින් ඊයේ සම කිරීමට සමත් වුනා. 

ඊයේ පැවැත්වුණු තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබා ගත් Tayyab Tahir විසින් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා අතරේ සමස්ත තරගාවලිය තුළ කඩුලු 11ක් බිඳ හෙළීමට සමත් වූ ඉන්දීය කණ්ඩායමේ Nishant Sindhu විසින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. 

  • Pakistan A 352/8 (50) Tayyab Tahir 108, Sahibzada Farhan 65, Riyan Parag 2-24, Rajvardhan Hangargekar 2-48 
  • India A 224/10 (40) Abhishek Sharma 61, Yash Dhull 39, Sufiyan Muqeem 3-66, Mohammad Wasim 2-26 

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමට අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූ අතර ඔවුන්ගේ පරාජයට හේතු වූ පාකිස්තාන A කණ්ඩායම විසින් මෙවර ශූරතාව හිමි කර ගැනීම විශේෂත්වයක්. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<