සීකුගෙන් කඩුලු ත්‍රිත්වයක්; ඩිමෝ Southern Warriorsට පළමු තැන

යුද හමුදා ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020

1702

යුද හමුදා ලීග් ක්‍රිකට් තරගාවලියේ අතිසාර්ථක සිව්වැනි දිනය අද (8) ක්‍රියාත්මක වූ අතර එහි දී ඩිමෝ Southern Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය. තරගාවලිය පැවැත්වෙන්නේ කළුතර දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දීයි.

තරගාවලියේ දින හතරක් අවසන් වන විට දැනට ක්‍රීඩා කර තිබෙන තරග 4 අතරින් තරග තුනක් ජයග්‍රහණ කර තිබෙන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ Southern Warriors ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ දිනාගෙන සිටියි.

දල ලකුණු ලබා ගැනීම අනුව ප්‍රසාද ලකුණු පුවරුවේ දැනට ඉදිරියෙන් සිටින්නේ අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ප්‍රීමා Eastern Warriors කණ්ඩායමයි.

ප්‍රීමා Eastern Warriors සහ ඩිමෝ Southern Warriors

කාසියේ වාසිය දිනා ගත් Southern Warriors නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කර සිටියා.

Eastern Warriors කණ්ඩායමේ පිතිකරුවන් හට වැඩි පීඩනයක් දෙමින් ශෙෂඳ සොයිසා සහ සුමින්ද ලක්ෂාන් දක්ෂ පන්දුකරණයක නිරත වෙමින් කඩුලු 2ක බැගින් දවා ගත් අතර Eastern Warriors වෙනුවෙන් තරගාවලිය පුරාවට පිත්තෙන් සාර්ථක වූ හිමාෂ ලියනගේ හට අද දිනයේ දී ලබා ගැනීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. කෙසේ නමුත් පැතුම් ඩිල්ශාන් ලකුණු 32ක් ලබා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ 4 පහර 4ක් එල්ල කරමිනි.

ඊට අමතරව නායක අසේල ගුණරත්න ලකුණු 28ක් ලබා ගන්නා විට චතුරංග ද සිල්වා වෙනුවෙන් කණ්ඩායමට පැමිණි කුසල් මෙන්ඩිස් 4 පහර 4ක් එල්ල කරමින් පන්දු 20ක් තුල ලකුණු 26ක් ලබා ගත්තා. 

ප්‍රීමා Eastern Warriors කණ්ඩායමේ සෑම කඩුල්ලක් අතරම යම් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් වාර්තා වූ නමුත් නිලකුණු පන්දු වැඩි වීම නිසාවෙන් ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 112ක් පමණි. ශෙෂඳ සහ  සුමින්ද කඩුලු දවා ගනිමින් දස්කම් දක්වද්දී ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල සිය පන්දුවාර කිහිපය අවසන් කිරීමට වනිඳු හසරංග සහ ජනිත් ද සිල්වා සමත් විය.

දිනේෂ් චන්දිමාල් සහ ප්‍රියන්ත රත්නායක මේ තරගය තුල ද සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 59ක සබඳතාවයක් ගොඩනංවන ලදි. ඒ සඳහා ඔවුන් දෙදෙනා හට වැය වූයේ පන්දුවාර පහක් පමණි. 

ඔවුන්ගේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස 4 පහර 7ක් සහ එක් 6 පහරක් සමඟින් පන්දු 17ක දී ලකුණු 38ක් ලබා සිටි චන්දිමාල්ගේ දැවී යාමට මොහොතකට පසුව ප්‍රියන්තගේ (ලකුණු 22) ඉනිම ද නිමා විය. 

අවසානයේ දී ගිහාන් කෝරලගේ (ලකුණු 17*) සහ වනිඳු (ලකුණු 16*) ඉතාමත් පහසුවෙන්ම සිය කණ්ඩායම ජයග්‍රහණ වෙත රැගෙන ගියේ කඩුලු 6ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

ප්‍රීමා Eastern Warriors – 112/10 (20): පැතුම් ඩිල්ශාන් 32, අසේල ගුණරත්න 28, කුසල් මෙන්ඩිස් 26, ශෙෂඳ සොයිසා 2/09, සුමින්ද ලක්ෂාන් 2/19.

ඩිමෝ Southern Warriors – 113/4 (17.5): දිනේෂ් චන්දිමාල් 38, ප්‍රියන්ත රත්නායක 22, තුලින ඩිල්ශාන් 2/10.

ඩිමෝ Southern Warriors කණ්ඩායමට කඩුලු 6ක ජයක්

  • තරගයේ වීරයා – දිනේෂ් චන්දිමාල් (ඩිමෝ Southern Warriors)

තවත් ක්‍රිකට් පුවත්

සුපර් ෆැෂන් Northern Warriors සහ මෙල්බන් Western Warriors

තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම වෙනුවෙන් සීකුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායමට මේ තරගය ජය ගැනීම ඉතාමත් වැදගත් විය.

තරගයේ එක්තරා මොහොතක Western Warriors ඉතාමත් ප්‍රබල තැනක සිටි නමුත් සීකුගේ විසින් Western Warriors නායක තිසර පෙරේරා, සමිත වනිගසේකර සහ ලක්ෂාන් එදිරිසිංහ යන ප්‍රබල පිතිකරුවන් තිදෙනාව පන්දු තුනක් තුල දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේ නායකත්වයේ වගකීම් උපරිමයෙන් ඉටු කරමිනි.

කාසියේ වාසිය දිනා ගත් Northern Warriors කණ්ඩායම දොඹගොඩ තණතීරුව මත පළමුව ලකුණු රැස් කිරීම සඳහා තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පිටියට පැමිණි අශාන් රන්දික සහ ජානක සම්පත් ඔවුන්ගේ පළමු කඩුල්ල සඳහා ලකුණු 35ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා දෙන ලදි.

සීකුගේ ප්‍රසන්න පිතිකරණයෙන් ද ලකුණු 35ක් වාර්තා කරගත්තේ පන්දු 20ක් සඳහා මුහුණ දෙමින් වන අතර එම ඉනිමට එක් 4පහරක් සහ 6 පහර තුනක් අන්තර්ගත විය. ඉනිමේ පිතිකරණයෙන් වැඩිම බරක් සිය කරට ගත් අශාන් 4 පහර 7ක් සහ 6 පහර තුනක් එල්ල කරමින් පන්දු 30ක් තුල මනරම් සහ වේගවත් ලකුණු 57ක් ලබා ගන්නේ තරගාවලිය තුල වාර්තා වූ අර්ධ ශතක අතරට තවත් එක් අර්ධ ශතකයක් එක්කාසු කරමිනි. 

දසුන් ශානක ලකුණු 30යි. පන්දු යැවීමේ දී යශෝද මෙන්ඩිස් සහ තිසර පෙරේරා අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

ලකුණු 189ක දැවැන්ත ඉලක්කයක් හඹා යමා වෙනුවෙන් පිටියට පිවිසි Western Warriors කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 96ක් ලබාගෙන ඉතාමත් හොඳ මට්ටමක සිටි නමුත් සීකුගේ ප්‍රසන්න එක් පන්දුවාරයක් තුල කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් තරගයේ ප්‍රතිඵලය කණපිට හැරවීම සඳහා අවශ්‍ය මුල් වෙඩිමුරය තබන ලදි.

Western Warriors මුල් පෙළ සවිමත් කළ සමිත වනිගසේකර දක්ෂ පිතිකරණයක නිරත වෙමින් පන්දු 34ක් තුල වේගවත් ලකුණු 52ක් ලබා ගත්තේ 4 පහර තුනක් සහ 6 පහර 5ක් එල්ල කරමිනි. 

ඊට අමතරව හර්ෂජිත් විරේන්ද්‍ර පන්දු 13ක් තුල ලකුණු 24ක් ලබාගෙන දස්කම් දක්වන ලදි. කෙසේ නමුත් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියාව සිටින අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 12කට සීමා කරගැනීමට හේෂාන් හෙට්ටිආරච්චි ඇතුළු Northern Warriors කණ්ඩායම සමත් විය.

කඩුලු කිහිපයක් එක ළඟ  බිඳ වැටෙන විට එක් අන්තයක් රැකගත් කඩුලු රකින පිතිකරු පැතුම් කුමාර ලකුණු 31ක් ලබාගනිමින් ඔවුන්ගේ පරාජයේ පරතරය අවම කරගත් අතර ධම්මික ප්‍රසාද් ද වේගවත් ලකුණු 21ක් ලබා ගනිමින් ඒ සඳහා සවියක් විය.

සුපර් ෆැෂන් Northern Warriors – 188/9 (20): අශාන් රන්දික 57, සීකුගේ ප්‍රසන්න 35, දසුන් ශානක 30, යශෝද මෙන්ඩිස් 2/18, තිසර පෙරේරා 3/42.

මෙල්බන් Western Warriors – 175/10 (20): සමිත වනිගසේකර 52, සීකුගේ ප්‍රසන්න 3/16, හේෂාන් හෙට්ටිආරච්චි 2/29, ජානක සම්පත් 2/35.

සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායමට ලකුණු 13ක ජයක්

  • තරගයේ වීරයා – සීකුගේ ප්‍රසන්න (සුපර් ෆැෂන් Northern Warriors)

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන

Teams Mat Won Lost Tied N/R Net RR: Pts
Dimo Southern Warriors 4 3 1 0 0 0.385 12
Melbn Western Warriors 4 2 2 0 0 0.834 8
Super Fashion Northern Warriors 4 2 2 0 0 -1.091 8
Prima Stela Eastern Warriors 4 1 3 0 0 -0.129 4

තරගාවලියේ තවත් තරග දෙකක් මේ මස 10 වැනි සෙනසුරාදා මේ ක්‍රීඩා පිටියේ දීම පැවැත්වීමට නියමිතයි. උණුසුම් තරග තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<