“ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිවටයින් හිටියෙත් නැහැ, ඉන්නෙත් නැහැ”

1794

හිටපු ඕස්ට්‍රේලියානු පුහුණුකරු Justin Langer විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් අලළා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව වත්මන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක Pat Cummins විසින් පළමු වරට සිය හඬ අවධි කර තිබෙනවා.

ඉතා සාර්ථක අළුබඳුන තරගාවලියක් මෙන්ම, 2021 විස්සයි විස්ස ලෝක කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු වූ Justin Langer විසින් මෙම වසර මුලදී සිය පුහුණුකාර ධුරයෙන් ඉවත් වූ අතර, පසුගිය සතියේ ඔහු විසින් සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින්නේ “නිවටයන්“ බවට ප්‍රකාශයක් නිකුත් කළා.

එම ප්‍රකාශයට විදෙස් මාධ්‍ය හරහා දැඩි අවධානයක් ලැබුණු අතර, විවිධ ප්‍රකට පුද්ගලයින් විසින් ඒ පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කරන්නට ද පටන් ගත්තා.

Langerගේ මේ ප්‍රකාශය නිසා නුදුරේ දී ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියට ලැබීමට තිබූ අවධානය වෙනතකට යොමු වූ බවත්, ක්‍රිකට් වෙනුවෙන් ලැබිය යුතු අවධානය එවැනි ප්‍රකාශයක් වෙත ලැබීම “කලකිරවන සුළු” බවත් ඕස්ට්‍රේලියානු නායකයා ප්‍රකාශ කළා.

“ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිවටයින් නැහැ, කවදාවත්ම ඉඳලා නැහැ. මම කවදාවත් පෞද්ගලික සංවාද පිටතට හෙලි කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම පිටියෙන් පිටත සිදුවීමක් ගැන මේ තරම් අවධානය යොමු වීමත් කනගාටුවට කරුණක්. ඒ මොනවා වුනත් ඒක අපේ කණ්ඩායමට බලපෑමක් එල්ල කරලා නම් නැහැ.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පර්ත් හීදී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් Cummins එසේ ප්‍රකාශ කළා.

මේ අතර මෙම ප්‍රකාශයෙන් පසුව නැවතත්  Langer විසින් තමන්ගේ පැත්තෙන් එම ප්‍රකාශය නිවැරදි කරමින් අර්ථකථන ලබා දීමට උත්සාහ කළ අතර, ඔහු පැවසුවේ වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තමන්ගේ බාල සහෝදරයින් හා සමාන බවයි.

“මම හිතන්නේ ඔහු කියන්න උත්සාහ කළේ මොකද්ද කියලා ඔහු පසුව පැහැදිලි කළා, ඒ වෙනුවෙන් ඔහුට ස්තුතියි.

නමුත් පහුගිය මාස 12 තුල අපි ක්‍රීඩා කළ ආකාරය ගැන සහ අපි ඉදිරියට ආපු විදිහ ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා. අපේ ක්‍රීඩකයින්ට ඇත්තටම ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්.”

Langerගේ පැහැදිලි කිරීම ගැන Cumminsගේ අදහස එසේ වූ අතර, තවදුරටත් ඔහු සඳහන් කර සිටියේ ඔවුන් දෙදෙනා අතර කිසිදු ආකාරයක ආරවුලක් නොමැති බවත්, පර්ත් හී පැවැත්වෙන තරගය අතරතුර දී Langerව මුණ ගැසීමට ආශාවෙන් මග බලා සිටින බවයි.

ඉන්පසුව මාධ්‍ය මගින් Cumminsගෙන් විමසුවේ බටහිර ඕස්ට්‍රෙලියාවේ දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එතරම් පිළිගැනීමක් නොමැති ද යන්නයි.

“අපිට එහෙම දෙයක් නම් දැනිලා නැහැ, නමුත් යම් යම් අනුමාන කිරීම් නම් ඇති ඔබ ළඟ. අපිට හොඳ සහයෝගයක් ලැබෙනවා,“ යනුවෙන් එම ගැටලුවට ඕස්ට්‍රේලියානු නායකයා විසින් පිළිතුරු ලබා දුන්නා.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් සමඟ ප්‍රථම තරගය ක්‍රීඩා කිරීමට නියමිත 13 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු සංචිතය නම් කළ අතර එයට Cameron Green අලුතින් එක්වී තිබුණා.

“ඇත්තම කියනවා නම්, මෙතෙක් මම ක්‍රීඩා කළ වඩාත් ස්ථාවරම කණ්ඩායම තමයි මේ. මම හිතන්නේ අපි හොඳ තැනක දැන් ඉන්නවා,” අවසාන වශයෙන් සිය කණ්ඩායම පිළිබඳ Cummins විසින් එසේ පවසා සිටියා.

ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<