තවත් IPL ක්‍රීඩකයෙකුට දඩයක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

245
IPLT20.COM

සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් අතර පසුගිය දා (29) පැවති තරගයේ දී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවා ගැනීම නිසා දිල්ලි කැපිටල්ස් නායක ශ්‍රේයාස් අයියර් හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් පැනවීමට IPL තරග සංවිධායකයින් තීරණය කර ඇත.

මෙම තරගයේ දී දිල්ලි කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 ක්‍රියාත්මක කිරීම සඳහා තරග ඉනිමක නියමිත කාලයට වඩා වැඩිපුර මිනිත්තු 23ක කාලයක් ලබාගෙන ඇත.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් අතර අබුඩාබි හිදී පැවති එම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම දියත් කළ දිල්ලි කණ්ඩායමට කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණි.

තවත් කියවන්න

එහි දී ඩේවිඩ් වෝනර්, ජොනී බෙයාර්ස්ටෝ සහ කේන් විලියම්සන් සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් වැඩි දස්කම් දැක්වූ අතර දිල්ලි නායක ශ්‍රේයාස් අයියර් හට පන්දු 21 දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 17ක් පමණි.

IPL තරගාවලිය තුල දිල්ලි කැපිටල්ස් මන්දගාමී පන්දු යැවීම නිසාවෙන් දඩයක් හිමි වූ පළමු අවස්ථාව මෙය නිසාවෙන් IPL තරග කොන්දේසි අනුව කණ්ඩායමේ නායකයා හට පමණක් දඩය හිමිවන අතර එවැනි අවස්ථාවක් නැවත සිදුවුවහොත් දඩ මුදලට අමතරව තරග තහනමක් ද ලැබීමට ඉඩක් තිබේ.

දිල්ලි කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ සිටින්නේ ඔවුන් සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජයග්‍රහණය කරමිනි. ඔවුන් සහභාගී වන මීළඟ තරගය මේ මස තුන්වැනිදා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ සාජා ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<