‍රිටි පැනීමේ ඉතිහාසය වෙනස් කරන Armand Duplantis

270

ලොව පුරා රටවල් රැසක දක්ෂයින් තරග කරන මලල ක්‍රීඩා පිටියේ ලෝක වාර්තාවක් පිහිටුවීම ඉතා අපහසු දෙයක්. එලෙස පිහිට වූ ලෝක වාර්තාවක් සිය නම යටතේ පවත්වා ගැනීම ද පහසු දෙයක් නෙවෙයි.

එසේ බිඳ හෙලු ලෝක වාර්තාවක් වසර දෙකක කාලයක් තුළ සිව් වතාවක් අලුත් කරලා ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක ආධිපත්‍ය රැක ගැනීමට ක්‍රීඩකයෙකුට හැකි වෙනවා නම් ඔහුගේ දස්කම් වගේම කැපවීම ද ඉතා ඉහළ වෙන්න ඕන.

වර්තමාන රිටි පැනීමේ පිටියේ ආධිපත්‍ය රඳවා ගෙන සිටින ස්වීඩන ක්‍රීඩක Armand Gustav Duplantis උපත ලැබුවේ 1999 නොවැම්බර් 10 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ දීයි.

ක්‍රීඩාවට දැඩි සේ ඇලුම් කළ පවුලක සාමාජිකයෙකු වන ඔහුගේ පියා ඇමරිකානු ජාතික රිටි පැනීමේ ශූරයෙකු වූ අතර ස්වීඩන ජාතික ඔහුගේ මව ස්වීඩනය වෙනුවෙන් සත්ප්‍රයාම ඉසව් නියෝජනය කළ ක්‍රීඩිකාවක්.

එම නිසා ඔහුට කුඩා කල සිට ක්‍රීඩාවට යොමු වීමට හැකියාවක් ලැබුණා. නිවස පිටුපස සාදා තිබූ රිටි පැනීම් පුහුණු ස්ථානයේ දී ඔහු පුහුණුවීම් ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු තුනක්.

“ගොඩක් දරුවන්ගේ නිවෙස් පිටුපස තිබුණේ පැසිපන්දු හෝ පාපන්දු ක්‍රීඩා පිටියි. නමුත් අපගේ නිවස පිටුපස තිබුණේ රිටි පැනීම පුහුණුවීමට සෑදූ ස්ථානයක්. එය අපට විශාල වෙනසක් වුනා”, සිය කුඩා කළ අත්දැකීම් ගැන Duplantis එලෙස අදහස් දැක්වූවා.

Mondo Duplantis කුඩා කලදී.

සිය පියාගේ මග පෙන්වීම යටතේ රිටි පැනීමේ ගමන ආරම්භ කළ Duplantis වයස අවුරුදු 07ක් වන විටම රිටි පැනීමේ වාර්තා බිඳ හෙළීමට සමත් වෙනවා.

පියාගේ උරුමය නිසා ඔහුට පහසුවෙන් ම ඇමරිකා එක්සත් ජනපදයට ක්‍රීඩා කිරීමට පුළුවන් වුනත් සිය මවගේ රට වූ ස්වීඩනයට ක්‍රීඩා කිරීමට තීරණය කරන්නේ රිටි පැනීමේ ක්‍රීඩාව ස්වීඩනය තුළ ඉතා ජනප්‍රිය ඉසව්වක් බව තේරුම් ගැනීම නිසයි.

ඒ නිසා සිය අධ්‍යාපන කටයුතු අතරවාරයේ වැඩි වේලාවක් ස්වීඩනයේ ගත කරමින් දෙවැනි භාෂාව ලෙස ස්වීඩන භාෂාව ඉගෙන ගැනීමට Duplantis වෙහෙස වෙනවා.

කැපවීම් සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ස්වීඩනය නියෝජනය කරන ඔහු 2015 ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ රිටි පැනීම රන් පදක්කම දිනා ගන්නේ මීටර් 5.30ක දස්කමක් දක්වමින් තරගාවලි වාර්තාව  බිඳ හෙළමින්.

2018 වසරේ පැවැත්වූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ රිටි පැනීම ඉසව්ව තරගාවලි වාර්තාවක් (මීටර් 5.82) සමඟ ජයග්‍රහණය කරන Duplantis 2019 පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ රිටි පැනීම රිදී පදක්කම දිනා ගන්නවා.

ඒ ජයග්‍රහණයෙන් පසුව කොරෝනා වසංගතය නිසා කලක් පිටියෙන් ඉවත් වී සිටීමට Duplantisට සිදු වූවත්, ඔහුගේ ක්‍රීඩා දිවියේ තීරණාත්මක වසර ලෙස 2020 වසර හඳුන්වන්නට පුළුවන්.

ලෝකවාසීන්ට අමිහිරි වසරක් වූ 2020 වසරේ සහභාගී වූ පළමු තරගයේම වසර 6ක් පැරණි රිටි පැනීම ලෝක වාර්තාව (ගෘහස්ථ සහ එළිමහන්) බිඳ හෙළන්නට Duplantisට හැකි වෙනවා. ඒ මීටර් 6.17ක දස්කමක් දක්වමිනුයි.

Mondo Duplantis පළමු වරට ලෝක වාර්තාව බිඳ හෙළමින්.

ඔහු විසින් ඒ බිඳ හෙලු ලෝක වාර්තාව වසර හයකට පෙර ඔහුගේ ක්‍රීඩා දිවියේ වීරයා වූ ප්‍රංශ ජාතික Renaud Lavillenie විසින් පිහිටුවා තිබූ වාර්තාවක් වීම ද විශේෂත්වයක්.

“ඒක තමයි මට අවුරුදු 03 ඉඳන් කරන්න ඕන වෙලා තිබ්බ දේ”, ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු Duplantis ප්‍රකාශ කළා.

ලෝක වාර්තාව පිහිටුවා සතියක් ගත වෙද්දී මීටර් 6.18ක උසක් සාර්ථකව තරණය කරමින් තමන්ගේ ලෝක වාර්තාව නැවත වරක් අලුත් කිරීමට Duplantisට හැකි වුනේ ස්කොට්ලන්තයේ පැවති තරගයක් අතරතුරයි.

ඉතා සාර්ථක තරග වාරයක් අවසානයේ ඉතාලියේ රෝම අගනුවරට පැමිණි Duplantis එළිමහන් රිටි පැනීමේ තරගයක දී මීටර් 6.15ක දස්කමක් දක්වමින් එළිමහන් රිටි පැනීම සඳහා සුපිරි ක්‍රීඩක Sergey Bubka පිහිටුවා තිබූ ලෝක වාර්තාව (මීටර් 6.14) බිඳ හෙළන්නේ රිටි පැනීම ඉසව්වේ සියලු ගෞරව සිය නාමයට එක් කර ගෙනයි.

Duplantis සිය ක්‍රීඩා දිවියේ විශාලතම සිහිනයක් සපුරා ගන්නේ 2021 වසරේ අගෝස්තු තුන් වෙනිදායි. ටෝකියෝ නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ පිරිමි රිටි පැනීම ඉසව්ව මීටර් 6.02ක දස්කමක් දක්වමින් ඔහු එහි දී ජයග්‍රහණය කළා.

Mondo Duplantis ඔලිම්පික් පදක්කම සමඟ

පිරිමි රිටි පැනීමේ ඉසව්වේ සම්පූර්ණ ආධිපත්‍ය සියතට ගැනීමෙන් පසු සහභාගී වූ තරග සියල්ල අඛණ්ඩව ජයග්‍රහණය කළ Duplantisගේ තවත් ස්වර්ණමය වසරක් ලෙස 2022 වසර හඳුන්වන්නට පුළුවන්.

සුපුරුදු පරිදි ගෘහස්ථ තරග වලින් තරග වාරය ආරම්භ කළ Duplantis සර්බියාවේ දී රිටි පැනීම ලෝක වාර්තාව දෙවතාවක් අලුත් කළේ පිළිවෙළින් මීටර් 6.19ක සහ 6.20ක දස්කමක් දක්වලයි.

ඒ ඉහළ දස්කම් සමඟ 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පිවිසි Duplantis එහි රිටි පැනීමේ ඉසව්වේ කිරුළ දිනා ගත්තා. අවසන් තරගයේ මීටර් 6.21ක දස්කමක් දැක්වූ ඔහු එහි දී තමන්ගේ ලෝක වාර්තාව සිව්වන වතාවටත් අලුත් කිරීම කැපී පෙනුණා.

එම වසර තුළ ඔහු සහභාගී වූ තරග 19න් තරග 18කම මීටර් 6 සීමාව සමත් වීම ඔහුගේ විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරනවා.

2022 වසර පුරාවට රිටි පැනීම ඉසව්වේ පෙන්නූ ඉහළ දස්කම් නිසා ලෝක මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන සම්මාන උළෙලේ වසරේ මලල ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබීමට Duplantisට හැකි වුනා.

අති සාර්ථක වසරකින් පසු මෙවර (2023) තරග වාරය මීටර් 6.10ක දස්කමක් දක්වමින් Duplantis ආරම්භ කළ අතර එය තරග වාරයක පළමු තරගයේ දී රිටි පැනීම ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්තා කළ ඉහළම දස්කමයි.

එමෙන්ම මීටර් 6.10 සීමාව 11 වතාවක් පසු කරමින් Sergey Bubka පිහිටුවා තිබූ දීර්ඝ කාලීන වාර්තාව බිඳ හෙළීමට ඔහුට එහි දී හැකි වුනා.

තවමත් 23 වැනි වියේ පසුවන Armand Gustav Duplantis (Mondo Duplantis) රිටි පැනීම ඉසව්වේ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා මෙන්ම මලල ක්‍රීඩා පිටියේ ඉතා කලාතුරකින් බිහි වන විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඔහුගේ මෙම රිද්මය තවත් වසර කිහිපයක් රඳවා ගැනීමට Duplantisට හැකියාවක් ලැබුනොත් රිටි පැනීම පිටියේ විශිෂ්ට වාර්තා රැසක් පිහිටුවීමට ඔහුට හැකි වනු ඇත.

“මම දන්නේ නැහැ මගේ සීමාව මොකක්ද කියලා. මම එක තැන සිටිනවා කියලා හැඟෙද්දී මම අලුත් දේවල් උත්සාහ කරනවා. මම සෑම විටම උත්සාහ කරන්නේ නව මට්ටමකට යන්නයි,” – Mondo Duplantis

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<