ශානකගේ වගකීම් මැතිව්ස් කරට ගනියි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

328

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා මේ තීරණය ගැනීමට සිදුව තිබෙන්නේ පසුගිය දා පත්කරන ලද නව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානකට තවමත් කොදෙව් දේශය බලා පිටත්ව යාමට නොහැකිව තිබෙන නිසයි. ඒ ඔහුගේ වීසා ගැටලුවක් නිසාවෙන්. 

එම වීසා ගැටලුව විසඳා ගැනීම සඳහා තවත් දින කිහිපයක් ගත වන නිසා ශානකට කොදෙව්වන් සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනම මඟ හැරී යාමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුව නිසයි ඇන්ජලෝ මැතිව්ස් හට මේ වැඩ බලන නායකත්වය ලබා දී තිබෙන්නේ.

ශානක වෙනුවෙන් වසර පහක් සඳහා නිකුත් කළ ඇමරිකානු වීසා සහිත ඔහුගේ ගමන් බලපත්‍රය මීට වසර තුනකට පෙර අස්ථානගත වී තිබෙනවා. ඒ නිසාවෙන් ඔහුගේ නව ගුවන් ගමන් බලපත්‍රය සඳහා ඇමරිකානු වීසා මේ දක්වා ලැබී නොමැති නිසා ශානක හට මෙම ගැටලුවට මුහුණ දීමට සිදුව තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2014-2017 කාලය තුල සියලුම අංශවල (එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස) තරගවල දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව දැරූ මැතිව්ස් අවසානයේ දී සිය නායකත්වයෙන් ඉල්ලා අස් වුනා. මැතිව්ස් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 34ක්, එක්දින තරග 98ක් සහ විස්සයි විස්ස තරග 12ක දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී තිබෙනවා.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට සහ ඉතිහාසගත ජයග්‍රහණ කිහිපයක්ම ලබාගෙන තිබෙන අතර 2014 දී එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ලබා ගත් ටෙස්ට් තරගාවලි ජය සහ 2016 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ටෙස්ට් තරග 3-0 ජය ඔහුගේ නායකත්වය යටතේ ලබාගෙන තිබෙන ඉහලම දස්කම් කිහිපයක් වෙනවා.

කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මේ තරගාවලිය සඳහා එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙනවා. එහි දී ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය මාර්තු 4 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<