සංගක්කාරගේ සහයට නවසීලන්තයෙන් දඟපන්දු යවන්නෙක්!

520

නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස තරග ආකෘතියෙහි කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරන විශේෂඥ පා දඟපන්දු යවන්නෙකු වන Ish Sodi මෙවර IPL තරග වාරයෙහි Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට එකඟතාව පළකොට ඇති බව වාර්තා වේ.

28 හැවිරිදි Sodi නිමාව දුටු 2018 සහ 2019 IPL තරග වාරයන් ද්විත්වයෙහිදීම Rajasthan Royals නියෝජනය කරමින් තරග 8ක දී කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වූ අතර මනා පාලනයකින් යුතුව පන්දුව හසුරවමින් ප්‍රතිවාදී පිතිකරුවන් වෙත ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ද සමත්කම් දැක්විය. 

කෙසේ නමුත් මෙවර ක්‍රීඩක වෙන්දේසිය අවසානයේ දී තම ස්ථානය තහවුරු කරගැනීමට අපොහොසත් වූයේ Sodiව මිල දී ගැනීම සඳහා කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම ද වඩාත් කැපී පෙනෙන්නට විය.

ඒ අනුව ක්‍රීඩකයෙකු ලෙසින් ඉටු කළ රාජකාරි කොටස පසෙකලා නිලධාරියෙකු ලෙස තම සේවාව Rajasthan වෙත ලබා දීමේ සූදානමින් පසුවන Ish Sodhi, Rajasthan කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය හොඹවන හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි Jake Lush McCrum සමඟ එක්ව කණ්ඩායමේ ඉදිරි සැලසුම් සියල්ල සකස් කිරීමට නියමිත බව සඳහන් වේ.

ජෛව-ආරක්ෂක බුබුලක සිට නැවත වතාවක් තරග වැඳීමට සිදු වීම නිසාවෙන් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටමට එල්ල විය හැකි සෘණාත්මක බලපෑම් අවම කරගනිමින් දක්ෂතා ඉහළ තලයක රඳවා ගන්නා ආකාරය සැලසුම් කිරීම Sodi ඉදිරියේ මේ වන විට ඇති විශාලතම අභියෝගයයි. මීට අමතරව තරග දිනයන්ට අදාළව සියලුම පෙර පුහුණුවීම් කටයුතු අධීක්ෂණය කිරීම සහ ප්‍රේක්ෂකයින් අතරට කණ්ඩායම තවදුරටත් සමීප කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නිර්මාණය ඔහුට පැවරී ඇති අනෙකුත් ප්‍රධාන රාජකාරි ලෙස හඳුන්වා දිය හැක.

තවත් ක්‍රිකට් පුවත්:

ඉකුත් වසරේ ක්‍රියාත්මක වූ තරගාවලිය සඳහා ද මෙම වගකීම දැරීමේ අවස්ථාව Sodi වෙත හිමි වූ නමුත් ලැබුණු එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට ඔහුට සිදු වූයේ IPL තරගාවලිය පැවැත්වුණු කාලසීමාව පුරාවට ඔහුට දේශීය පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සිදු වූ නිසාවෙනි.

Sodiගේ යලි ආගමනය පිළිබඳව සතුටට පත් Rajasthan කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි Jake Lush මහතා සඳහන් කර සිටියේ ඔහුගේ දායකත්වය යලි කණ්ඩායම වෙත ලබා ගැනීමට හැකි වීම ඉතාමත් තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි.

“Ish ඇත්තටම කිසිම වෙලාවක Rajasthan අමතක කරල දාලා හිටියේ නැහැ. ඔහුත් එක්ක නැවත වතාවක් වැඩ කටයුතු කරන්න අවස්ථාවක් ලැබීම සතුටට කාරණයක්. මේක ඔහුටත් සුවිශාල අවස්ථාවක්. මොකද කියනවා නම් මම දකිනවා Ish තුලින් හොඳ අනාගත පුහුණුකරුවෙක්ව නැත්නම් දක්ෂ කණ්ඩායම් කළමනාකාරවරයෙක්ව. ඉතින් මේක ඔහුට ලැබෙන හොඳම අවස්ථාවක් ඔහුගේ හැකියා දක්ෂතා තවදුරටත් මුවහත් කරගන්න.”

අභිමානවත් Rajasthan Royals කණ්ඩායමේ කොටස්කරුවකු බවට පත්වීමට ලැබීම සම්බන්ධයෙන් තමන් ඉමහත් සතුටට පත්වන බව සඳහන්කොට සිටින Ish Sodhi මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් පවසා සිටියේ කණ්ඩායමේ අභ්‍යන්තර මෙහෙයුම් නිසි ආකාරයෙන් බාධාවකින්  තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග  ඉදිරියේ දී ගැනීමට අපේක්ෂා කරන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<