SSC සහ ලංකන් අවසන් මහා තරගයට

අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලිය 2020/21

1224
U23 Major Club Youth Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක අද (26) කොළඹ දී ක්‍රියාත්මක වුනා.

එහි දී SSC සහ ලංකන් ක්‍රිකට් සමාජ යන කණ්ඩායම් පිළිවෙළින් බදුරලිය ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අද පැවති මේ තරග දෙකේ දී SSC කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක නිපුන් ධනංජය නොදැවී අර්ධ ශතකය ලබා ගනිමින් දස්කම් දක්වන විට, පන්දු යැවීමේ දී දිලුම් සුධීර ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත්තා. අනෙක් තරගයේ දී ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් යසිරු රොද්‍රිගෝ කඩුලු 4ක් දවා ගන්නා විට දමිත් සිල්වා ලකුණු 41ක් ලබාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ඊට අමතරව කෝල්ට්ස් වෙනුවෙන් වමතින් පිතිකරණයේ නිරත වන ධනංජය ලක්ෂාන් අර්ධ ශතකයක් ලබා ගත් නමුත් එය සිය කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

තවත් ක්‍රිකට් පුවත්:

23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය සාර්ථක ලෙස අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවස්ථාව ලැබුණු නමුත්, 2020 වසරේ ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එහි අවසන් පූර්ව තරග දෙක කොරෝනා දෙවන රැල්ල නිසාවෙන් අවස්ථා දෙකක දී දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වුනා.

SSC සහ බදුරලිය ක්‍රිකට් සමාජය

NCC පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් SSC නායක සම්මු අශාන් පළමුව පන්දු යැවීමට තීරණය කොට බදුරලිය ඉනිම ලකුණු 93කට සීමා කළා. එහි දී සුපිරි පන්දු යැවීමක් පෙන්වූ වමතින් පා දඟපන්දු යවන හිටපු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ දිලුම් සුධීර තිලකරත්න ලකුණු 27ක් තුල කඩුලු 5ක් දවා ගනිමින් බදුරලිය ඉනිම සුන් කළ දැම්මේ තරගයේ වාසිය සිය කණ්ඩායම වෙතට හරවාලමිනි. ඊට අමතරව චමිඳු වික්‍රමසිංහ ලකුණු 7කට කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් පෙන්නුම් කළා.

බදුරලිය පන්දුවාර 34ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු 93 ලබා ගැනීම සඳහා SSC කණ්ඩායමට වැය වූයේ පන්දුවාර 18ක් පමණයි. එසේම ඒ සඳහා එකඳු  කඩුල්ලක් හෝ ලබා දීමට SSC ආරම්භක පිතිකරුවන් යුගලය වුනු නිපුන් සහ සොහාන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. නිපුන් නොදැවී ලකුණු 50*ක් සහ සොහාන් නොදැවී ලකුණු 27*ක් ලබා ගනිමින් මේ තරගයෙන් SSC  කණ්ඩායමට පහසු ජයක් හිමිකර දුන්නා.

  • බදුරලිය ක්‍රිකට් සමාජය – 93 (34): මිතිර තේනුර 22, තමිඳු වික්‍රමාරච්චි 22, දිලුම් සුධීර 5/27, චමිඳු වික්‍රමසිංහ 2/07.
  • SSC – 95/0 (18): නිපුන් ධනංජය 50*, සොහාන් ද ලිවේරා 37*

SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්


ලංකන් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ලංකන් ක්‍රිකට් සමාජය පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පැමිණි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සිය පන්දුවාර 50 අවසන් වීමට පෙර සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 189ක් පමණයි. 

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ධනංජය ලක්ෂාන් 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 55ක් ලබාගෙන දස්කම් දැක්වීමට සමත් වුනා. ඊට අමතරව විශාද් රන්දික සහ හෙෂාන් දනුෂ්ක පිළිවෙළින් ලකුණු 38ක් සහ ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කෝල්ට්ස් පිතිකරුවන් අඩපණ කරමින් පන්දු යැවූ වමතින් වේගපන්දු යවන යසිරු ලකුණු 39ක් තුල කඩුලු 4ක් දවා ගත්තේ ලහිරු ඩිල්ශාන් (කඩුලු 3) සහ දුනිත් වෙල්ලාලගේ (කඩුලු 2) දැක්වූ දස්කම්වලට අමතරවයි.

ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය ලංකන් ක්‍රිකට් සමාජය පන්දුවාර 47කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා. ඒ සඳහා දමිත සිල්වා ලකුණු 41කින්, කඩුලු රකින ආරම්භක පිතිකරු විශ්ව චතුරංග ලකුණු 33කින් සිය දායකත්වය ලබා දුන්නා. අවසානයේ දී සිය තුන් ඉරියව් දස්කම් පෙන්වූ දුනිත් වෙල්ලාලගේ දවාගත් කඩුලු 3ට අමතරව සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් නොදැවී ලකුණු 22*ක් ලබාගත්තා.

කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ආමන්ත ගුණරත්න සහ රොහාන් සංජය පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 189 (43.1): ධනංජය ලක්ෂාන් 55, විශාද් රන්දික 38, හෙෂාන් දනුෂ්ක 21, යසිරු රොද්‍රිගෝ 4/39, ලහිරු ඩිල්ශාන් 3/14, දුනිත් වෙල්ලාලගේ 2/32.
  • ලංකන් ක්‍රිකට් සමාජය – 190/7 (47.5): දමිත් සිල්වා 41, විශ්ව චතුරංග 33, කසුන් අබේරත්න 26, මෙත්සිත් ජයමාන්න 26, දුනිත් වෙල්ලාලගේ 22*, ආමන්ත ගුණරත්න 3/42, රොහාන් සංජය 2/27.

ලංකන් ක්‍රිකට් සමාජයට කඩුලු 3ක ජයක්

ඒ අනුව අවසන් පූර්ව තරගවලින් ජයග්‍රහණය ලබා ගත් SSC සහ ලංකන් ක්‍රිකට් සමාජය මේ මස 28 වැනිදා අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසෙන අතර එම තරගය කොළඹ SSC ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. තරගාවලියේ ඡායාරූප, තරග වාර්තා, විශේෂ වීඩියෝ ඇතුළු සියලු තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<