KKR ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා! RCB තරගය නවතියි!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

157

Kolkata Knight Riders (KKR) කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම මෙවර IPL තරග වාරය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට දැඩි ගැටලුකාරී තත්වයක් පැන නැඟී තිබේ.

ඒ අනුව අද (03) දිනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ Kolkata Knight Riders සහ Royal Challengers Bangalore අතර තරගය ඉදිරි දිනයකට කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තා වේ. නිල ආරංචි මාර්ග සඳහන් කරන පරිදි KKR කණ්ඩායමේ Varun Chakravarthy සහ Sandeep Warrier යන ක්‍රීඩකයින් දෙදෙනා හට වයිරසය ආසාදනය වී ඇති බව මේ වන විට නිශ්චිතවම සනාථ වී ඇත.

Varun Chakravarthy හට උදර ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට KKR කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගෙන තිබූ අතර ඉන්පසුව Warrier හට සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ධනාත්මක වීමත් සමඟම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් මෙන්ම කාර්‍ය මණ්ඩලය ද, ඔවුන් නවාතැන් ගනිමින් සිටින Ahmedabad හී පිහිටි හෝටලය තුල දී නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට පියවරගෙන තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් හට සිදු කළ PCR පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල මේ වන විට තමන් වෙත ලැබී ඇති බව සඳහන් කර සිටින BCCI පවසා සිටියේ Chakravarthy සහ Warrier දෙදෙනා හැරුණුකොට කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පවතින බවයි.

Cricbuzz ක්‍රීඩා පිටුව පවසන පරිදි අද සිට ඉදිරි දින හතක කාලසීමාව පුරාවට KKR ක්‍රීඩකයින් සියලු දෙනා හට දිනපතාම වයිරසය ආසාදනය වී ඇත්දැයි සැකහැර දැන ගැනීමේ අරමුණින් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු තරගාවලි සංවිධායක කමිටුව විසින් මේ වන විටත් සූදානම් කර තිබේ.

අතහැර දැමූ තරගය ඉදිරියේ දී පවත්වන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්කොට නැති නමුත් තරගය දියත් කිරීමට සැලසුම් කර තිබූ ක්‍රීඩාංගණයේ විධායක නිලධාරි කමිටුව සහ BCCIය අතර මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවන්ගෙන් අනතුරුව  නිසැකවම දිනයක් සඳහන් කිරීමට අපේක්ෂා කරන බව Gujarat ක්‍රිකට් සංගමය ප්‍රකාශ කර තිබේ. 

උද්ගත වී ඇති තත්වය හමුවේ KKR කණ්ඩායම සහභාගී වීමට නියමිත මීළඟ තරගය ද (මැයි මස 8 වැනිදා Delhi Capitals කණ්ඩායමට එරෙහිව) බොහෝ දුරට අවලංගු කොට ඉදිරි දිනයක දී පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් මත පළ කර සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<