ශ්‍රී ලංකා Legends සංචිතය නම් කරයි

Road Safety World Series 2021

1337

කොරෝනා වසංගතයේ බලපෑමත් සමඟ අතරමග නැවතුණු Road Safety ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා Legends කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවා. එහි නායකත්වය සුපුරුදු පරිදි ප්‍රහාරාත්මක දකුණත් පිතිකරු සහ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබෙනවා.

ඒ් අනුව එළඹෙන මාර්තු 5 වැනිදා සිට තරගාවලිය නැවතත් ආරම්භ වීමට නියමිත අතර ඉන්දියාව සහ බංග්ලාදේශය පළමුවෙන් එකිනෙකා හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය මාර්තු 6 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවැත්වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු මෙන්ම 96 ලෝක ශූර කණ්ඩායම නියෝජනය කළ සනත් ජයසූරිය ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා. ඒ් අනුව මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන තිලකරත්න ඩිල්ෂාන් සමඟින් සනත් ජයසූරිය සිය ඉනිම ඇරඹීමට නියමිත බව වාර්තා වනවා. ඊට අමතරව පසුගියදා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් උපුල් තරංග සහ ධම්මික ප්‍රසාද් ද මේ සංචිතය තුල සිටිනවා.

මේ සංචිතයේ පිතිකරුවන් ලෙස උපුල් තරංග, මලින්ද වර්ණපුර, චාමර කපුගෙදර, චාමර සිල්වා, දුලංජන විජේසිංහ සිටින අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ඩිල්ශාන්, ජයසූරිය, රසල් ආනල්ඩ්, ෆර්විස් මහරූෆ් සිය දායකත්වය දක්වනු ඇත.

ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ දඟපන්දු යවන්නන් ලෙස රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් එක්ව සිටින අතර අනෙක් පසින් වේගපන්දු යවන්නන් ලෙස නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, තිලාන් තුෂාර ක්‍රීඩා කරනවා.

2020 මාර්තු 7 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ මේ තරගාවලිය සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබුනත්, මාර්තු 11 වැනිදායින් පසුව එම තරගාවලිය තාවකාලිකව නවතා දැමුණා. ඒ ඉන්දියාව ඇතුළු මුළු ලෝකය තුලම වේගයෙන් ව්‍යාප්ත වෙමින් ගිය නව කොරෝනා වයිරසය නිසාවෙන්.

තරගාවලිය තාවකාලිකව නවතා දමන විට  තරග දෙකක් (ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩා තරුවලට අමතරව ඉන්දියාවේ Sachin Tendulkar, Virender Sehwag කොදෙව් දේශයේ Brian Lara වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක් මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිතව සිටිනවා.

ශ්‍රී ලංකා Legends කණ්ඩායම – තිලකරත්න ඩිල්ශාන් (නායක), සනත් ජයසූරිය, උපුල් තරංග, මලින්ද වර්ණපුර, චාමර කපුගෙදර, චාමර සිල්වා, රසල් ආනල්ඩ්, ෆර්විස් මහරූෆ්, නුවන් කුලසේකර,  රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, තිලාන් තුෂාර,  දුලංජන විජේසිංහ, කණ්ඩායම් කළමනාකරු ශ්‍යාම් ඉම්පෙට්, කණ්ඩායම් වෛද්‍යවරයා – Dr. මංජුල ප්‍රසාද්

තරගාවලියේ සියලුම තරග රාත්‍රී 7ට ආරම්භ වෙනවා.

Road Safety ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන

  • මාර්තු 6 – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
  • මාර්තු 8 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
  • මාර්තු 10 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය
  • මාර්තු 14 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<