ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වීරයෙක් ජීවිතක්ෂයට

318
Andrew Symonds dies in car accident

ඊයේ (14) රාත්‍රියේ Townsville ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට 46 වැනි වියේ පසු වූ Andrew Symonds ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව Townsville හී වාසය කළ අතර ඊයේ (14) රාත්‍රි 10.30 පමණ මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වෙනවා.

ඔහුගේ අභාවයත් සමඟ මෙම වසර තුළ ඕස්ට්‍රේලියාවට අහිමි වූ තෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වන අතර මාර්තු මාසයේ දී හිටපු සුවිශේෂී ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Shane Warne සහ Rod Marsh ජීවිතක්ෂයට පත්වුනා.

1998 සිට 2009 දක්වා වසර 11ක් පුරාවට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩකයෙකු වූ Symonds ටෙස්ට් තරග 26ක්, එක්දින තරග 198ක් සහ විස්සයි විස්ස තරග 14කට සිය දායකත්වය සපයමින් ජාත්‍යන්තර ලකුණු 6827ක් සහ කඩුලු 165ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

එමෙන්ම ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ලෝක කුසලාන ද්විත්වයක් දිනා ගත් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අමතරව Kent, Gloucestershire, Lancashire සහ Surrey යන කණ්ඩායම් නියෝජනය කළා.

ඔහුගේ මිය යාමට හේතු වූ අනතුර පිළිබඳව එරට පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනේ,

“රාත්‍රි 11 පසු වී ටික වේලාවකින් මෙම මෝටර් රථය Hervey Range පාරේ ගමන් කරමින් තිබෙන අතරවාරයේ Alice නදිය අසල පාලමට ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගිහින් තිබෙනවා. එම රථයේ සිටි 46 හැවිරිදි රියදුරාට ප්‍රතිකාර කරමින් සිහිය ලබා ගැනීමට හදිසි සේවා කණ්ඩායම් උත්සහ කළත්, සිදු වූ තුවාල නිසාවෙන් ඔහු මියගොස් තිබුණා”.

මෙම සුපිරි ක්‍රීඩකයාගේ නික්ම යාම ක්‍රිකට් පිටියට ඉතා දුක්බර පුවතක් වන අතර ඔහු වෙත සංවේගය පළ කරමින් ලොව පුරා ක්‍රීඩකයින් ඇතුළු පිරිස් Twitter පණිවිඩ නිකුත් කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<