ඉන්දීය ජාතික ශූරිය පරදවමින් අමාෂා වැඩ පෙන්වයි

ඉන්දියානු අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය - 2021

395

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකා අමාෂා ද සිල්වා එහි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට අද (26) සමත් වුනා.

අද  සවස් වරුවේ පැවති කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.59ක කාලයකින් අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට අමාෂා සමත් වූ අතර තත්පර 11.52ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දියානු ක්‍රීඩිකා ධන ලක්ෂ්මි හට රන් පදක්කම හිමි වුනා.

තරගයේ තෙවැනි ස්ථානය ඉන්දියානු ක්‍රීඩිකා අර්චනා සුසී (තත් 11.60) විසින් දිනා ගත් අතර මෙම තරගයේ දී අමාෂා විසින් ඉන්දියානු මීටර් 100 ජාතික ශූරිය මෙන්ම ආසියානු පදක්කම් ලාභියෙකු ද වන Dutee Chand පරාජය කිරීමට සමත් වීම ද කැපී පෙනුණා.

අද උදෑසන පැවති කාන්තා මීටර් 100 මූලික වටයේ තරගය අමාෂා තත්පර 11.66ක කාලයක් වාර්තා කරමින් ජය ගැනීමට සමත් වූ අතර එහි දී ඇය විසින් ඉන්දීය සුපිරි ක්‍රීඩිකා හිමා දාස් පරාජය කිරීමට ද සමත් වුනා.

එම මූලික වටයේ තරග සඳහා සහභාගී වූ යොවුන් ක්‍රීඩිකා ශෙලින්ඩා ජැන්සන් මූලික තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්වූවත් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකි වුනේ නැහැ.

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (27) දිනයේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වන නදීෂා රාමනායක (මීටර් 400), මේධානි ජයමාන්න (මීටර් 200) සහ ක්‍රීඩක කාලිංග කුමාරගේ (මීටර් 400) තරග බිමට පිවිසීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<