යුපුන් ඔලිම්පික් සටනේ තවත් ඉහළට

189

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා ක්‍රීඩකයන් තෝරාගන්නා ක්‍රීඩක වර්ගීකරණයේ 46 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට හැකිව තිබෙනවා.

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් සිදු කළ අවසාන වර්ගීකරණයට අනුව යුපුන් 50 වැනි ස්ථානයෙහි පසු වූ නමුත් එම ලකුණු සටහන සංශෝධනය කිරීමෙන් පසු තවත් ස්ථාන 4ක් ඉහළට පැමිණෙමින් 46 වැනි ස්ථානය හිමිකර ගැනීමට යුපුන්ට හැකිව ඇත.

ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයෙහි පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයන්ට පසු ආරාධිත ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු ලබාගත් ක්‍රීඩකයන්ට ඉහළින් ස්ථානගත කිරීමට පිළිබඳව ශ්‍රී ලංකා  මලල ක්‍රීඩා සංගමයේ නිලධාරියෙකු ලෝක මලල ක්‍රීඩා සංගමයෙන් විමසීමක් කර තිබුණා. 

ඒ අනුව එයට පිළිතුරු ලෙස ක්‍රීඩක වර්ගීකරණය සංශෝධනය කරමින් ආරාධිත ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු ලැබූ ක්‍රීඩකයන්ට පසු ස්ථානගත කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය ඊයේ රාත්‍රියේ කටයුතු කිරීමෙන් පසු යුපුන් මෙලෙස ඉදිරියට පැමිණ ඇත.

ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව සඳහා තෝරාගන්නා සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 56ක් වන අතර මේ වන විට පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩකයන් 39 හැරුණු කොට ප්‍රසාද ලකුණු සටහනේ මුල් 56 ඇතුළත සිටින අනෙක් ක්‍රීඩකයින් හට ඔලිම්පික් වරම් ලැබීමට නියමිතයි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

මේ වන විට ප්‍රසාද ලකුණු 1203ක් ලබා ගනිමින් යුපුන් ප්‍රසාද ලකුණු සටහනේ 56 වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයාට වඩා ප්‍රසාද ලකුණු 15ක් ඉදිරියෙන් පසුවන අතර ඉදිරි දින කිහිපයේ දී ඉහළ වර්ගීකරණයේ තරගාවලි එතරම් නොමැති වීම නිසා මෙම වර්ගීකරණයේ විශාල වෙනසක් අපේක්ෂා කළ නොහැක.

ඔලිම්පික් පරිසාධන කාලසීමාව අවසන් වීමට තවත් ඇත්තේ දින අටක් පමණක් වන අතර එම කාලයේ දී යුපුන් තවත් එක් තරගාවලියකට සහභාගී වීමට විශාල ඉඩක් ඇත. එහි දී ඉහළ දස්කම් දැක්වීමට යුපුන්ට හැකිවුවහොත් සිය ඔලිම්පික් අසුන 29 වැනිදාට පෙරම තහවුරු කරගැනීමට ඔහුට හැකි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<