අපිට ඕනේ චාමික පන්දුවාර 15-20 අතර ක්‍රීඩා කරන්න – Mickey

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

13871

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 18 වැනිදා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමඟින් තරග දෙකකට සහභාගී වන අතර බංග්ලාදේශය සහ පැපුවා නිව් ගිනියාව සමඟින් පුහුණු තරග දෙකකට ද සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලිය සඳහා පසුගිය දා පුහුණුවීම් ආරම්භ කළ අතර එහි දී පුහුණු සැසි කීපයක් සහ පුහුණු තරග කීපයක් ද පැවැත්වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සූදානම පිළිබඳව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Mickey Arthur ඊයේ (02) මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.

පසුගිය තරගාවලි කීපය තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය වඩාත් කැපීපෙනුණා. මේ පිළිබඳව පුහුණුකරුවන් කටයුතු කරන්නේ කෙසේ ද යන්නට Mickey Arthur පිළිතුරු ලබා දුන්නා.

මම හිතන්නේ ඒක ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ තැනක්. අපි ඒ ගැන අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් පසුගිය දවස් 9 තුල ගොඩක් මහන්සි වුනා. අපි පුහුණු තරග තුනක් පැවැත්වුවා. ඒ වගේම විශේෂ පුහුණු සැසි කීපයක් පවත්වන්න පුළුවන් වුනා. අපි ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්න ඕනේ ආකාරය ගැන හඳුනා ගෙන තියනවා.

අපි sweep පහර ගැනත් ලොකු අවධානයක් යොමු කළා. මම ගොඩක් සතුටු වෙනවා අපේ පිතිකරුවන් ලකුණු 184ක් වගේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න සමත් වුනා. මම හිතනවා අපේ පිතිකරුවන් සාර්ථක වුනොත් අපිට ලොකු අවස්ථාවක් තියනවා තරග ජයග්‍රහණය කරන්න. අපේ පන්දු යවන්නන් ගැන අපිට එතරම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පන්දු රැකීමත් යම් මට්ටමකට දියුණු වෙලා තියනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමඟින් සහභාගී වීමට නියමිත පුහුණු තරග දෙක සඳහා ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දුශ්මන්ත චමීර සහ වනිඳු හසරංග සහභාගී වන්නේ නැහැ.

ඔවුන් දෙදෙනා නැතුව අපි තරග දෙකකට සහභාගී වෙනවා. මම හිතන්නේ ඔවුන් දෙදෙනාගේ තැන අපිට වෙනත් ක්‍රීඩකයන් දෙදෙනෙක්ට දෙන්න හැකියාවක් තියනවා. ඔවුන්ට මේක හොඳ අවස්ථාවක් වේවි ඔවුන්ගේ හැකියාව පෙන්වන්න. කණ්ඩායමේ සංයුතිය ගැන මම ගොඩක් සතුටු වෙනවා.

අපිට කණ්ඩායමේ ස්ථාන දෙකක් ගැන තමයි තවමත් යම් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ ගැනත් ඕමාන තරගවල දී යම් තීරණයක් ගන්න පුළුවන් වේවි. කණ්ඩායම ඇතුළේ විශ්වාසය හදාගන්න මේ තරග ලොකු උදව්වක් වේවි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලිය තුළ නැවත වරක් යම් ආබාධයකට ලක්ව තිබුණා. කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය පිළිබඳව ද Mickey Arthur මෙහි දී අදහස් දක්වා සිටියා.

මම දකිනවා කුසල් පෙරේරා ඉතාමත් මහන්සි වෙලා පුහුණුවීම් කරනවා. කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා එක්ක ඔහු ගොඩක් කටයුතු කරනවා. අද තිබුණ තරගයේ දී අපි දැක්කා ඔහු පැතුම් නිස්සංක එක්ක හොඳ ඉනිමක් ගොඩනඟනවා. ඔහුගේ ඉනිම තුල ආබාධයක් අපි දැක්කේ නැහැ.

කුසල් කියන්නේ අපේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ඕමාන තරගාවලියේ දී වගේම පුහුණු තරගවල දීත් ඔහුව නිවැරදිව යොදාගන්න අපි බලාපොරොත්තු වෙනවා. මට හරියටම කියන්න බැහැ ඔහු තරග කීයක් ක්‍රීඩා කරයි ද කියලා. ඒත් ඔහු අද ක්‍රීඩා කරපු ආකාරය ඉතාමත් හොඳ මට්ටමක තිබුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයන් කීපදෙනෙකු පසුව එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළා. ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතයේ යම් වෙනස්කමක් සිදු වේවි ද? Mickey Arthur ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

මේ සංචිතයේ අපිට නම්‍යශීලී වෙන්න ලොකු අවස්ථාවක් තියනවා. ලොකු පරාසයක ක්‍රීඩකයන් ඉන්නවා. මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි‍යත් සමීපව අධ්‍යනය කරමින් ඉන්නේ. අපි ඒ තණතීරු වල තමයි ක්‍රීඩා කරන්නේ. මම හිතන්නේ මේ තණතීරු තරමක් මන්දගාමී තණතීරු. වසරේ මේ කාලය වෙද්දී තණතීරු ගොඩක් මන්දගාමී වෙනවා. ඒ නිසා තමයි තරමක් කොළ පැහැති තණතීරු දකින්න පුළුවන් වෙන්නේ.

මේ තත්ත්වය එක්ක අපි ගොඩක් වෙලාවට වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සහ දඟපන්දු යවන්නන් දෙදෙනෙක් එක්ක ක්‍රීඩා කරන්න ඉඩ තියනවා. ඒ වගේම දසුන්, චාමික වගේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ඉන්නවා. ඒ වගේම දඟ පන්දු යවන්නෙක් යොදාගන්න පුළුවන් අපේ මුල් පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණු තරග දෙකක් සඳහා සහභාගී වීමට නියමිත අතර එම තරග ඔක්තෝබර් 12 සහ 14 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ බංග්ලාදේශය සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමඟින්.

පසුගිය එංගලන්ත සංචාරය අතරතුර විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝශන් දික්වැල්ල පිළිබඳව ද Mickey Arthur මෙහි දී අදහස් දක්වා සිටියා.

මම හිතන්නේ ඒක ලොකු බලපෑමක් වුනා. මොකද ඔවුන් තුන්දෙනා අපේ කණ්ඩායමේ හොඳම පිතිකරුවන් පස්දෙනා අතර හිටපු ක්‍රීඩකයන්. මම හිතන්නේ සැලසුම් අතින් අපි කණ්ඩායමක් විදිහට පස්සට ගියා කියලා. ඒත් ඒකෙන් අපිට අවස්ථාවක් ලැබුණා චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් වගේ ක්‍රීඩකයන් හොයාගන්න. ඒ වගේම පැතුම් නිස්සංකට නැවත අවස්ථාවක් ලැබුණා. දිනේෂ් චන්දිමාල් සහ භානුක රාජපක්ෂට නැවත කණ්ඩායමට එන්න පුළුවන් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න පිළිබඳව පසුගිය තරග කීපයේ දී ම බොහෝ දෙනා අවධානය යොමු වුනා. ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ඔහු පිතිකරණ ලැයිස්තුවේ ඉහළට ගැනීම පිළිබඳව ද එහි දී කතාබහට ලක්වුනා.

ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන කෙනෙක්. ඔහුට ලොකු අවස්ථාවක් තියනවා පිතිකරණ ලැයිස්තුවේ උඩට එන්න. අපි මේ පුහුණු තරග දෙකේ දී අවධානය යොමු කළා ක්‍රීඩකයන්ට අවබෝධයක් ලබා දෙන්න ඔවුන්ගේ කාර්‍යභාරය සහ අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක ගැන.

චාමික කරුණාරත්න ගැන ගත්තම අපිට ඕනේ ඔහු පන්දුවාර 15-20 අතර ක්‍රීඩා කරන්න. දසුන් ශානක, වනිඳු හසරංග සහ ඔහු තමයි ඒ පන්දුවාර කීපය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඔහුට විශාල පහර වලට යන්න ලොකු හැකියාවක් තියනවා. අපි ඒක නාස්ති කරන්න හොඳ නැහැ. ඒවගේ ක්‍රීඩකයන් ගොඩක් නැහැ. ඔහු ඉතාමත් වටින ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන තරගාවලිය සඳහා ඉදිරි සතියේ දී පිටත්වීමට නියමිත අතර එම තරග ඔක්තෝබර් 7 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<