තර්ස්ටන් කිරුල රැකගනිද්දී, ඉසිපතනයෙන් හොඳ අභියෝගයක්

59 වැනි සහෝදරයින්ගේ මහා සටන

418

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 59 වැනි සහෝදරයින්ගේ මහා සටන අද (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

කෙසේ නමුත් 2019 වසරේ අවසන් වරට පැවති මහා තරගය තර්ස්ටන් විද්‍යාලයේ ජයගෙන තිබෙන නිසා ඔවුන්ට මෙම අනුස්මරණ කුසලානය තවදුරටත් ඔවුන් සතුව රඳවා ගැනීමට හැකියාව ලැබුණා.

දෙවැනි දිනය ආරම්භ වන විට ඉසිපතනය කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබාගෙන සිටියා. එතැන් සිට කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳ කරට කර සටනක් ලබා දෙමින් ක්‍රීඩා කළ අතර දිනයේ දිවා ආහාරය වන විට ඉසිපතන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 134ක් ලබාගෙන සිටියා.

එම උදෑසන සැසිය තුල ඉසිපතන විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුනු අතර නිපුන් ප්‍රේමරත්න සහ වමතින් දඟපන්දු යවන 15 හැවිරිදි තනුග පලිහවඩන එම සැසිය තුල පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුල්ලක් දවාගෙන ඉසිපතන මුල්පෙළ සහ මැදපෙළ පිතිකරුවන් පාලනය කිරීමට සමත් වුනා.

උදෑසන සැසිය තුල ඉසිපතනය හොඳ ලකුණු සටහනක් වෙත රැගෙන යාමට අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළ යෙසිත් කළුපහන සිය දෙවැනි මහා තරගය තුල 4 පහර 10ක් එල්ල කරමින් පන්දු 94ක් තුල ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනේ හොඳ ප්‍රහාරාත්මක වේගයක් ද සමඟිනුයි.

යෙසිත්, නායක තිනුල, දිනුක අනුපමාල් සහ තරුෂ්ක අශෙල් දැවී ගිය පසුව අංක 6 පිතිකරු ලෙස ක්‍රීඩා කළ දකුණත් පිතිකරු රන්දුනු ගංගනාත් දුර්වල පන්දු තෝරා බේරාගනිමින් සෙමින් සීරුවේ පන්දුවට පහර දුන් අතර ඉසිපතන පසුපෙළ පිතිකරුවන්ගෙන් ද ඔහුගේ ඉනිමට හොඳ සහයක් ලැබුණා.

ලකුණු 172කට කඩුලු 7ක් දැවී ගොස් තිබුණු මොහොතේ දී 8 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ රන්දුනු සහ යුනෙත් සෙනෙවිරත්න එක්ව ලකුණු 125ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ අතර එය මේ මහා තරග ඉතිහාසය තුල 8 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය බවට පත්වුනා.

මීට පෙර එම්. යුගාන්ත්‍ර සහ ඩී. හේමන්ත යන ඉසිපතන ක්‍රීඩකයින් විසින් 1992 වසරේ දී පිහිටුවා තිබූ වාර්තාව වසර 30කට පසුව බිඳ දැමීමට රන්දුනු සහ යුනෙත් අද සමත් වුනා.

කෙසේ නමුත් මහා තරගයක ශතකයක් අභියස සිටි රන්දුනු ලකුණු 99ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් වුනා. ඔහුගේ දැවී යාමත් සමඟ ලකුණු 95ක පළමු ඉනිමේ වාසියක් ලබාගෙන සිටි ඉසිපතන කණ්ඩායම සිය පළමු ඉනිම අවසන් කිරීමට තීරණය කළ අතර නොදැවී ක්‍රීඩා කළ යුනෙත් ලකුණු 57*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන නිපුන් තර්ස්ටන් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 5ක දස්කමක් දැක්වීමට සමත් වීම කැපී පෙනුණා.

අනතුරුව සිය පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ තර්ස්ටන් කණ්ඩායමේ කඩුලු 2ක් පන්දුවාර 9කුත් පන්දු 3ක් තුල ලකුණු 25ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ඉසිපතන පන්දු යවන්නන් සමත් වුනු අතර අවසානයේ දී අයහපත් ආලෝක තත්වය නිසා තරගයේ දෙවැනි සහ අවසන් දිනය නිමා කිරීමට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ශාන්ත ෆොන්සේකා සහ අසංග ජයසූරිය තීරණය කළා.

ඒ අනුව මෙවර සහෝදරයින්ගේ මහා සටනේ වැඩි ගෞරවය දිනා ගැනීමට ඉසිපතන කණ්ඩායම සමත් වුනු අතර මේ තරගාවලි ඉතිහාසයේ ප්‍රධාන තරග වාර්තා දෙකක් බිඳ හෙළීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

එම වාර්තාවන් දෙක මෙසේයි,

  • 8 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු ලකුණු 125 සබඳතාවය – රන්දුනු සහ යුනෙත් වසර 30ක් පැරණි වාර්තාවක් බිඳ දැමුවා.
  • මංගල මහා තරගයේ ඉනිමක් තුල ක්‍රීඩකයෙක් දැක්වූ හොඳම පන්දු යැවීමේ දස්කම – කෙවින් සැමුවෙල් – 6/52 (තරගාවලි වාර්තාව සඳහා මීට පෙර හිමිකම් කියනු ලැබුවේ ක්‍රිෂාන් ධර්මසේන (තර්ස්ටන් 5/16 – 1985), ප්‍රියලාල් පෙරේරා (ඉසිපතනය – 5/30 – 1975)

59 වැනි සහෝදරයින්ගේ මහා සටනේ ත්‍යාග බෙදී ගිය ආකාරය,

  • තරගයේ වීරයා – රන්දුනු ගංගානාත් (ඉසිපතන විද්‍යාලය)
  • හොඳම පිතිකරුවා – රන්දුනු ගංගානාත් (ඉසිපතන විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – කෙවින් සැමුවෙල් (ඉසිපතන විද්‍යාලය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – නිපුන් ප්‍රේමරත්න (තර්ස්ටන් විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – තරිඳු හර්ෂණ (තර්ස්ටන් විද්‍යාලය)
  • ප්‍රහාරත්මකම පිතිකරුවා – යෙසිත් කළුපහන (ඉසිපතන විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<