එංගලන්ත පුහුණු සංචිතයෙන් ප්‍රබලයින් හැලෙයි

121

ඇලෙක්ස් හේල්ස් සහ එංගලන්තයට ලෝක කුසලාන ජයග්‍රහණය දිනා දීම වෙනුවෙන් සවියක් වූ ලියම් ප්ලන්කට් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද 55 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතය සඳහා නම් වී නොමැත. 

එංගලන්ත ක්‍රීඩකයින්ට සමාජ ඇසුර සීමා කෙරේ!

කෙසේ නමුත් තවමත් ජාත්‍යන්තර වරම් දිනාගෙන නොමැති ක්‍රීඩකයින් 14 දෙනෙකු මේ සංචිතය සඳහා ඇතුළත් වී සිටින අතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්ත, ඕස්ට්‍රේලියා සහ පාකිස්තානය යන රටවල් සමඟ ඉදිරියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ටෙස්ට් සහ සීමිත පන්දුවාර තරගාවලි ඉලක්ක කරගනිමින් මේ පුහුණු සංචිතය නිකුත් කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියි. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය යෝජනා කර ඇති අන්දමට ජූලි 8, ජූලි 16 හා ජූලි 24 ටෙස්ට් තරග ආරම්භ කිරීමට නියමිත අතර තරග පැවැත්වෙන්නේ Ageas Bowl හා ලැන්කෂයර් ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් ක්‍රීඩාංගණවලයි. එයට විශේෂ හේතුවක් වී ඇත්තේ එම ක්‍රීඩාංගණ අසල ක්‍රීඩකයින් නවාතැන් ගන්නා හෝටල් පිහිටා ඇති නිසයි. එම තරග තුන සඳහා ක්‍රීඩා කරන සංචිතය ඉදිරියේ දී නම් කිරීමට බලාපොරොත්තු වන බව ද එංගලන්ත ක්‍රිකට් පාලනාධිකාරිය පවසා සිටියි.

මේ ක්‍රීඩකයින් 55 දෙනා එකම ස්ථානයක් තුල පුහුණුවීම් වල නිරත නොවන අතර ඔවුන්ගේ නිවෙස්වල සිට පැමිණිය හැකි දුරින් එංගලන්තයේ තිබෙන විවිධ ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී එම පුහුණුවීම් කටයුතු කුඩා කුඩා කණ්ඩායම් ලෙස පැවැත්වෙනු ඇත. 

“ක්‍රීඩකයින්ව නැවත පුහුණුවට ගෙන්වා ගැනීමට හැකි වීම සතුටට කරුණක් වන අතර එහි දී ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් ආරක්ෂිතව කටයුතු කරනාවා ද කියලා බලලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා” යැයි එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ පුහුණුවීම් සංවර්ධන අධ්‍යක්ෂක මෝ බොබට් මහතා පැවසීය.

නොටිංහැම්ෂයර් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන හේල්ස් පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියට පෙර සංචිතයෙන් ඉවත් කරන ලද්දේ ඔහුට එරෙහිව සිදු කළ මත්ද්‍රව්‍ය භාවිත පරීක්ෂණය ධනාත්මක (positive) වූ නිසයි.

ටෙස්ට් සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරග රටාවන් සඳහා එංගලන්තයට වෙනම සංචිත අවශ්‍ය නිසා හේල්ස් ඉතාමත් ඉක්මනින් ජාතික සංචිතයට පැමිණෙනු ඇති නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇත්තේ සංචිතයේ සිටින ක්‍රීඩකයින් තුල ඔහු පිළිබඳව තිබෙන විශ්වාසය බිඳී ගොස් තිබෙන නිසා බව එංගලන්ත එක්දින නායක ඔයින් මෝර්ගන් පවසා සිටියි.

2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී නවසීලන්තයට එරෙහිව කඩුලු තුනක් දවා ගනිමින් සිය රටට ලෝක කුසලානය දිනා දීම සඳහා සවියක් වූ දකුණතින් වේගපන්දු යවන ප්ලන්කට් එම තරගයට පසුව කිසිදු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත. 

රහස් පොලිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු

එසේම කොරෝනා වසංගත තත්වය නිසා කල් දැමුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා මුල් තැන දෙමින් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය ආරම්භය අගෝස්තු 1 වැනිදා දක්වා කල් දමා තිබේ. 

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නම් කරන ලද පුහුණු සංචිතය,

මොයින් අලී, ජේම්ස් ඇන්ඩර්සන්, ජෝෆ්රා ආර්චර්, ජොනී බෙයාර්ස්ටෝව්, ටොම් බැන්ටන්, සෑම් බිලින්ග්ස්, ජේම්ස් බ්‍රේසි, ස්ටුවර්ඩ් බ්‍රෝඩ්, හෙන්රි බෘක්ස්, පැට් බ්‍රවුන්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, බ්‍රයිඩන් කාර්ස්, මේසන් ක්‍රේන්, සැක් ක්‍රොව්ලි, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ජෝ ඩෙන්ලි, බෙන් ඩකට්, ලෝරි එවාන්ස්, බෙන් ෆෝක්ස්, රිචඩ් ග්ලීසන්, ලුවිස් ග්‍රෙගරි, සෑම් හේන් , ටොම් හෙල්ම්, විල් ජැක්ස්, කීටන් ජෙනිංස්, ක්‍රිස් ජෝර්ඩ්න්, ටොම් කෝලර්-කැඩ්මෝර්, ඩෑන් ලෝරන්ස්, ජැක් ලීච්, ලියම් ලිවිංස්ටෝන්, සාකිබ් මහමූඩ්, ඩේවිඩ් මලන්, ඔයින් මෝගන්, ක්‍රේග් ඕවර්ටන්, ජේමි ඕවර්ටන්, මැට් පාකින්සන්, ඔලී පොප්, අදිල් රෂීඩ් , ඔලී රොබින්සන්, ජෝ රූට්, ජේසන් රෝයි, ෆිල් සෝල්ට්, ඩොම් සිබ්ලි, බෙන් ස්ටොක්ස්, ඔලී ස්ටෝන්, රීස් ටොප්ලි, ජේම්ස් වින්ස්, අමර් වර්ඩි, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස්, මාක් වුඩ්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<