ප්‍රමෝද් සහ භානුක ඉවතට; නවකයින් දෙදෙනෙක් සංචිතයට

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1740

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත තරගාවලිය සඳහා නම් කළ සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්දින ජාත්‍යන්තර පිටියෙන් විවේකයක් ඉල්ලා ඇති භානුක රාජපක්ෂ නිසා ඔහුව සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන අතර ඒ වෙනුවට දකුණතින් පිතිකරණයේ නිරත වන 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු සංචිතයට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. ඔහු අද දිනය තුල කණ්ඩායම සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

එසේම ඊයේ (24) නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් පාදයක ඇති වූ මාංශ පේශි ඇදීමක් නිසාවෙන් ඔහු වෙනුවට දකුණතින් වේගපන්දු යවන මිලාන් රත්නායක පළමු වරට ශ්‍රී ලංකා ජාතික සංචිතයකට කැඳවා තිබෙනවා.

දැනට මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන 26 හැවිරිදි මිලාන් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 135-140ත් අතර වේගයක් සහිතව පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ වන List A තරග 23කදී කඩුලු 24ක් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා.

වෙනස්කම්වලින් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, ලහිරු කුමාර, නුවනිඳු ප්‍රනාන්දු.

තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර තරගාවලියේ සියලු තොරතුරු පල්ලෙකැලේ සිට ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<