ඉන්දීය නායිකාවට ආසියානු ක්‍රීඩා උලෙළේ ආරම්භය මඟ හැරේ

ආසියානු ක්‍රීඩා උළෙල 2023

659

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur හට ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු තරග දෙක අහිමි වෙනවා. ඒ බංග්ලාදේශ තරගාවලියේ පෙන්නුම් කළ ආවේගශීලී හැසිරීම් වලට හිමි වූ දඬුවමක් විදියටයි. 

තරගාවලියේ අවසන් එක්දින තරගයේ දී දැවී යාමෙන් පසු ආවේගශීලී ව පිත්තෙන් කඩුලු වලට පහර දුන් අතර පසුව කුසලාන ප්‍රධාන උත්සවයේ දී විනිසුරුවරයන්ට විරුද්ධව වාග් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබුණා. 

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඇයට පනවන දඬුවම් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. 

“විනිසුරුවරයාගේ තීරණය විරුද්ධව සිදු කළ හැසිරීම් නිසා Harmanpreet Kaur ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දෙවැනි කාණ්ඩයේ වරදක් සිදු කර තිබෙනවා. එලෙස දෙවැනි කාණ්ඩයේ වරදක් කළ පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. ඒ නිසා ඇයට දඬුවම් ලකුණු තුනක් සහ තරග ගාස්තුවෙන් 50%ක දඩයක් හිමි වෙනවා,” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා. 

එමෙන්ම තරගයෙන් පසුව සිදු කළ වාග් ප්‍රහාර නිසා ඇයට තවත් දඬුවම් ලකුණක් සහ තරග ගාස්තුවෙන් තවත් 25%ක දඩයක් පැනවීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති වලට අනුව යම් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් දඬුවම් ලකුණු 4ක් හෝ ඊට වඩා වැඩි ගණනක් ලබා ගතහොත් එය තහනම් ලකුණු ලෙස සැලකෙන අතර මාස 24ක් තුළ එලෙස දඬුවම් ලකුණු ලබා ගැනීමට ක්‍රීඩකයා කටයුතු කළොත් ඔහුට හෝ ‍ඇයට ටෙස්ට් තරගයක්, එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙකක් තහනම් වෙනවා.  

මෙය Harmanpreet Kaur දඬුවම් ලකුණු ලබා ගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර සිය කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සමඟම සිදු කර ගත් ආරවුලක් නිසා 2017 දී ඇයට දඬුවම් ලකුණු හිමි වුනා.  

කෙසේ නමුත් මෙහි දී ඉන්දීය උප නායිකාව වන Smriti Mandhana ද සිය නායිකාවට සහය දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මින් පසු පැවැත්වෙන තරගවලට මධ්‍යස්ථ විනිසුරුවරයන් යොදා ගත යුතු බවයි. 

ක්‍රීඩකයින් කඩුලු බිඳ දමමින් විනිසුරුවරයන්ට සිය විරෝධය දැක්වීම ඉතා දුර්ලභ සිදු වීමක් වන අතර මීට පෙර බංග්ලාදේශ දේශීය තරගාවලියක දී බංග්ලාදේශ ක්‍රීඩක Shakib Al Hasan මෙලෙස කටයුතු කිරීම නිසා තරග තහනමකට ද ලක් වුනා.  

ඉන්දීය කාන්තා කණ්ඩායමට මීළඟ තරගාවලිය ලෙස ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන අතර මෙම තහනම සමඟ ඔවුන්ගේ නායිකාවට අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග අහිමි වෙනවා.  

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.   

ESPNCRICINFO ඇසුරිනි.  

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<