යුපුන්ගේ අඩුව දැනුණු තියුණු තරගයක් නිමා වෙයි

4619

2023 Diamond League තරගාවලියේ තෙවැනි අදියර ඉතාලියේ Florence හිදි ඊයේ (02) රාත්‍රියේ පැවැත්වුණා.

මෙම අදියර තුල මලල ක්‍රීඩා ඉසව් 15ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර එහි දී වඩාත් කැපී පෙනෙන ඉසව්ව ලෙස මෙම තරග අදියර ආරම්භ වීමට පෙර සිට ම කතාබහට ලක් වෙමින් තිබුණේ පිරිමි මීටර් 100 ඉසව්වයි. මේ සඳහා ලොව මේ වන විට ධාවනයේ යෙදෙන වේගවත් ම ධාවකයින් සහභාගී වීමට නියමිත බව මීට සති කිහිපයකට පෙර සිට ම නිවේදනය කර තිබුණා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ නම ද ඇතුළත් වී තිබූ නමුත්, පසුව ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් නිසා තරගයට සහභාගී නොවන බව ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම 2020 ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉතාලියේ Marcell Jacobs ද මෙම තරගයට සහභාගී වන බව මීට පෙර දැනුම් දී තිබුනත්, පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට ද ඊයේ තරගය මග හැරී ගියා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් තොරව හෝ ඊයේ තරගය පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් ලොව නම් දැරූ මීටර් 100 ධාවකයින් කිහිප දෙනෙකු ම සහභාගී වුනා. ඒ අතර ඇමරිකාවේ Trayvon Bromell සහ Fred Kerley, දකුණු අප්‍රිකාවේ Akani Simbine, කෙන්යාවේ Ferdinand Omanyala, ජැමෙයිකාවේ Yohan Blake වැනි ක්‍රීඩකයින් ද සිටි අතර එහි දී තත්පර 9.94ක කාලයක් වාර්තා කරමින් Fred Kerley විසින් ඊයේ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම මෙම තරගයේ දෙවැනි ස්ථානය තත්පර 10.05කින් තරගය නිමා කළ Omanyalaට හිමි වූ අතර, තත්පර 10.09කින් තරගය නිමා කළ Bromell හට තෙවැනි ස්ථානය හිමි වුනා.

මේ අතර පසුගිය මැයි 24 වැනිදා ඉතාලියේ Savona හි පැවැත්වුණු Citta’ Di Savona 2023 තරගාවලියේ මීටර් 100 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ යුපුන් එහි දී තත්පර 10.01ක කාලයක් වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන් ම සිය පෞද්ගලික හොඳම කාලය ලෙස තත්පර 9.96ක කාලයක් වාර්තා කිරීමට සමත් වී ඇති ඔහු ඊයේ පැවැත්වුණු තරගයට සහභාගී වූවා නම් විශේෂ දක්ෂතාවක් පෙන්වීමට යම් ඉඩක් තිබූ බවට අනුමාන කළ හැකි.

එමෙන්ම ඊයේ පැවැත්වුණු මීටර් 1500 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් වාර්තා කිරීමට කෙන්යාවේ Faith Kipyegon විසින් සමත් වුනේ ඉතිහාසයේ ප්‍රථම වරට එම ඉසව්වෙන් විනාඩි 3 තත්පර 50 කඩඉම පසුකර යෑමට (3.49.11) සමත් වෙමිනුයි. ඇය විසින් එසේ බිඳ දැමීමට සමත් වුනේ වසර 8ක් පැරණි ලෝක වාර්තාවක් වීම විශේෂත්වයක්.

මීට අමතරව ඊයේ පැවැත්වුණු ඉසව්වලින් ලද ප්‍රතිඵල මෙසේයි;

  • 100m කාන්තා – Marie-Josée Ta Lou
  • 400m කාන්තා – Natalia Kaczmarek
  • 3000m බාධක කාන්තා – Sembo Almayew
  • 400m කඩුලු මතින් දිවීම කාන්තා- Femke Bol
  • රිටි පැනීම කාන්තා – Katie Moon
  • දුර පැනීම කාන්තා – Larissa Iapichino
  • කවපෙත්ත විසි කිරීම කාන්තා – Valarie Allman
  • 200m පිරිමි – Erriyon Knighton
  • 110m කඩුලු මතින් දිවීම – Grant Holloway
  • උස පැනීම පිරිමි – JuVaughn Harrison
  • තුන් පිම්ම පිරිමි – Andy Díaz
  • යගුලිය විසි කිරීම පිරිමි – Leonardo Fabbri
  • 5000m පිරිමි – Mohamed Katir

2023 Diamond League තරගාවලියේ සිව්වැනි අදියර ප්‍රංශයේ පැරිස් හිදි මෙම මස 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඒ පිළිබඳ ව ද සියලු ම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Olympics වෙබ් අඩවිය ඇසුරෙනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<