කසුනි, දෙනෙත් රිදී දිනද්දී ලෙසඳුට ලෝකඩ පදක්කම්

4වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය

271

කුවේට් හී පැවැත්වෙන හතරවැනි ආසියානු යොවුන් (අවුරුදු 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනයේ තරග ඉසව් අද (15) පැවැත්වුනා.

අද දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් තරග බිමට පිවිසි අතර ඔවුන් තිදෙනාම දස්කම් දක්වමින් දිනය අවසන් කළේ ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා දෙමිනුයි.

පිරිමි උස පැනීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙනෙත් අනුහස් සහ ලෙසඳු අර්ථවිදු සහභාගී වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුනා.

දෙනෙත් එම ඉසව්වේ මීටර් 2.01ක් දස්කමක් සහ ලෙසඳු මීටර් 1.97ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර එහි රන් පදක්කම දිනා ගත් කොරියානු ක්‍රීඩක Choi Jinwoo දැක්වූ දස්කම මීටර් 2.21ක්.

එමෙන්ම අද පැවති කාන්තා මීටර් 800 අවසන් තරගය නියෝජනය කළ කසුනි නිර්මලී එම ඉසව්ව මිනිත්තු 2:15.42ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කරමින් රිදී පදක්කම දිනා ගන්නට සමත වුනා.

කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ඉන්දීය ක්‍රීඩිකා Ashakiran Barla විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඇය එම ඉසව්ව මිනිත්තු 2:06.79ක කාලයකින් අවසන් කළා.

ඒ අනුව 4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලංකාව දිනා ගත් පදක්කම් ගණන 5ක් දක්වා ඉහළ ගිය අතර ඊයේ (14) දිනයේ දී ප්‍රවීන් ජයතිලක රිදී පදක්කමක් සහ අවිශ්ක රාජපක්ෂ ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුනා.

තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තරග තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<