මුරලිට අංක 1 වෙන්න බැරි වූ ටෙස්ට් වාර්තාව

2308

ටෙස්ට් තරග ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව, වාර්තා වී මේ ගෙවී යන්නේ 64 වැනි වසරයි. එහි හිමිකරු ලෙසින් සටහන් වන්නේ එංගලන්තයේ ජිම් ලේකර් ය. එම ලැයිස්තුවේ මෑත කාලීන වාර්තාවක් වී නම් එහි ප්‍රමුඛයා මුත්තයියා මුරලිදරන් ය. ඔහුට ද එම ලැයිස්තුවේ හිමිව ඇත්තේ 5 වැනි ස්ථානය වන අතර ඊට එක් වී ඇත්තේ මීට වසර 22කට ඉහත 1998 වසරේ දී ය. මේ එම ලැයිස්තුව සැකසුණ අපූරු ආකාරය ගැන සටහනකි.

ඇල්ෆ්‍රර්ඩ් ෂෝ

1877 මාර්තු මාසයේ දී ලොව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් මෙම ලැයිස්තුව සැකසෙන්නේ එංගලන්තයේ දකුණතින් මද වේගපන්දු යැවූ ඇල්ෆ්‍රර්ඩ් ෂෝගේ දක්ෂතා සමඟිනි.

ඕස්ට්‍රේලියාව සමඟ මෙල්බර්න් නුවර දී පැවති එම මංගල තරගයේ පළමු ඉනිමේ දී ඔහු ලකුණු 51කට කඩුලු 3ක් දවා ගන්නා අතර දෙවැනි ඉනිමේ දී ලකුණු 38කට කඩුලු 5ක් දවා ගන්නේ ය. දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ ලකුණු 89කට කඩුලු 8ක් ලෙසිනි. එකී වාර්තාවේ පළමු රූල ඊට හිමි වෙන්නේ ය.

1877 සිට 1882 දක්වා වූ වසර 5ක් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කළ ෂෝ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 12කි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ඔහු  1864 වසරේ සිට 1897 වසර දක්වා වූ වසර 33ක් පළමු පෙළ පිටියේ ලකුණු 6585ක් සහ කඩුලු 2027ක් ලබා ඇත.

ෆ්‍රෙඩ්රික් ස්පූෆෝර්ත්

කඩුලු 10කට වැඩියෙන් ලබා ගනිමින් මෙම ලැයිස්තුව සැකසීමට සලස්වන්නේ ඊට වසර දෙකකට පසුව 1879 ජනවාරියේ මෙල්බර්න් නුවර දී පැවති ලොව තෙවැනි ටෙස්ට් තරගයේ දී ය. එංගලන්ත සහ ඔස්ට්‍රේලියා  අතර පැවති එම තරගයේ දී ඕස්ට්‍රේලියාවේ දකුණතින් ආරම්භක වේගපන්දු යැවූ ෆ්‍රෙඩ්රික් ස්පූෆෝර්ත්ගේ දක්ෂතා ඊට ඉවහල් විය.

ඔහු එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 48කට කඩුලු 6ක් දවා ගන්නේ ය. අනතුරුව ඔහු දෙවැනි ඉනිමේ දී ලකුණු 62කට කඩුලු 7ක් දවා ගන්නේ ය. ඒ අනුව ඔහු එම තරගයේ දී ලකුණු 110කට කඩුලු 13ක් ලබා ගන්නේ ය.

එම වාර්තාව පැවතියේ 1882 අගෝස්තු දක්වා වූ වසර ත්‍රිත්වයක් පමණි. නැවත වතාවක් ක්‍රියාත්මක වූ ෆ්‍රෙඩ්රික් ස්පූෆෝර්ත් එවර ද එංගලන්තයට එරෙහිව ලකුණු 90කට කඩුලු 14ක් දවා ගනිමින් තම වාර්තාව අලුත් කරන්නේ ය. ඔහු එවර ක්‍රියාත්මක වෙන්නේ පළමු ඉනිමේ දී ලකුණු 46කට කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේ දී නැවත ලකුණු 44කට කඩුලු 7ක් දවා ගනිමිනි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් 1877 සිට 1887 දක්වා වසර 10ක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටි ෆ්‍රෙඩ්රික් ටෙස්ට් තරග 18ක දී කඩුලු 94ක් ද, 1874 සහ 1888 දක්වා වූ වසර 14ක් පළමු පෙළ ක්‍රිකට් දිවියේ තරග 155කට සහභාගී වෙමින්  කඩුලු සංඛ්‍යාව 853ක් ද ලබා ඇති ක්‍රීඩකයෙකි.

ජෝන් බ්‍රිග්ස්

ෆ්‍රෙඩ්රික්ගේ එම වාර්තාව වසර 1889 මාර්තු දක්වා වූ වසර 7ක් පුරා ඕස්ට්‍රේලියාව සතුව තිබූ අතර ඉන් අනතුරුව එම වාර්තාවේ හිමිකාරීත්වය දකුණතින් දඟපන්දු යැවූ එංගලන්තයේ ජෝන් බ්‍රිග්ස් සතු විය. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන් නුවර දී ලකුණු 28කට කඩුලු 15ක් දවා ගන්නේ ය.

එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 17කට කඩුලු 7ක් දවා ගන්නා බ්‍රිග්ස් දෙවැනි ඉනිමේ දී ලකුණු 11කට කඩුලු 8ක් දවා ගන්නේ ය.

එංගලන්තය වෙනුවෙන් 1884 සිට 1889 දක්වා වූ වසර 5ක කාලයක් ටෙස්ට් පිටියේ රැදී සිටි ජෝන් බ්‍රිග්ස් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 118කි. 1879 සිට 1900 දක්වා වූ වසර 21ක් පළමු පෙළ ක්‍රිකට් දිවියේ තරග 535කට සහභාගී වී ඇති බ්‍රිග්ස් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 2221කි.

සිඩ්නි බර්න්ස්

නැවත වතාවක් මේ වාර්තාව අලුත් වෙන්නේ 1913 දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර ජොහැන්නස්බර්ග් හිදි පැවති තරගයේ දී ය. ඒ පෙර වාර්තාව බිහිවී ටෙස්ට් තරග 99කට පසුව ය. එවර ද එහි හිමිකාරීත්වය එංගලන්තය සතු විය.

දකුණතින් වේගපන්දු යැවූ සිඩ්නි බර්න්ස් පළමු ඉනිමේ ලකුණු 103කට කඩුලු 9ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 56කට කඩුලු 8ක් ලබා ගනිමින් තරගයේ දී ලකුණු 159කට කඩුලු 17ක් ලබා ගනිමින් එකී වාර්තාවේ නවතම හිමිකරුවා විය.

බර්න්ස් එංගලන්තය වෙනුවෙන් 1901 සිට 1914 දක්වා වසර 13ක් ටෙස්ට් තරග පිටියේ රැඳී සිටිමින් තරග 27කට සහභාගී වෙමින් කඩුලු 189ක් වාර්තා කළේය. එමෙන්ම 1894 වසරේ සිට 1930 වසර දක්වා වසර 36ක් පළමු පෙළ පිටියේ රැඳී සිටින බර්න්ස් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 719කි.

තවත් විශේෂාංග:

ජිම් ලේකර්

අනතුරුව මේ වාර්තාව ගැන නැවත වතාවක් කතා වෙන්නේ 1956 වසරේ ජූලි මාසයේ දී ය. ඒ මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවති එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ දී  එංගලන්තයේ ජිම් ලේකර් නමැති 34 හැවිරිදි පිට දඟපන්දු යැවූ ගැටවරයා පෑ දක්ෂතාවක් හේතුවෙනි.

ඔහු එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 37කට කඩුලු 9ක් දවා ගන්නා ලද අතර දෙවැනි ඉනිමේ දී ලකුණු 53කට කඩුලු 10ක් ලබා ගන්නේ ය. ඒ අනුව තරගයේ දී ලකුණු 90කට කඩුලු 19ක් ලබා ගන්නා ලේකර් ටෙස්ට් තරග ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගන්නේ ය. ඒ පෙර වාර්තාව බිහි වී වසර 43කට සහ තරග 297කට පසුව ය.

මෙම තරගයේ ලේකර්ට අහිමි වූ කඩුල්ලේ හිමිකාරීත්වය වමතින් දඟපන්දු යවන ටෝනි ලොක්ට හිමි විය. ඒ ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් උඩ පන්දුවකින් ජිම් බන්කර් දවා ගනිමිනි.

ජිම් ලේකර් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නේ 26 හැවිරිදි වියේ දී ය. ඒ 1948 බටහිර ඉන්දීය කොදෙව්වන් හා සමඟ පැවති තරගයේ දී ය. ඒ වෙද්දී ලේකර් පළමු පෙළ තරගවල දැක්වූ දක්ෂතා හේතුවෙන් සුවිශේෂී පන්දු යවන්නෙක් ලෙසින් කාගේත් කතා බහට ලක්වෙන අවදියක් විය.

සියලු දෙනාගේ බලාපොරොත්තු සඵල කරමින් ලේකර් තම මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ම ලකුණු 103කට කඩුලු 7ක් දවා ගන්නේ ය. ඔහුගේ ප්‍රථම ගොදුර බවට පත් වූයේ පසුකාලයක ශ්‍රීමත් නාමයෙන් ද පිදුම් ලැබූ ක්ලඩ් වෝල්කට්. එතැන් සිට එංගලන්තයේ අංක එකේ දඟපන්දු යවන්නා වූ ලේකර් එංගලන්තය වෙනුවෙන් සහභාගී වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 46ක් වන අතර ටෙස්ට් කඩුලු 193ක් ලබා ගැනීමට සමත් ව ඇත.

ලේකර් තම ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ වේගපන්දු යවන්නෙක් ලෙසිනි. නමුත් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියන් වන විට ඔහු දක්ෂ දඟපන්දු යවන කොළු ගැටයෙකි. ඔහු එසෙක්ස් සහ සරේ කණ්ඩායම් නියෝජනය කරමින් පළමු පෙළ තරගාවලිය නියෝජනය කරන්නේ ය. ඒ අනුව පළමු පෙළ තරග 450කට සහභාගී වී ඇති ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 1944කි. ඉන් කඩුලු 1395ක් ම සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ලබා ගත් කඩුලු ය.

වසර 13ක් සරේ කණ්ඩායම නියෝජනය කළ ඔහු එංගලන්තයේ MCC සහ සරේ ක්‍රිකට් සමාජයේ ගරු සාමාජිකත්වයෙන් පුදලත් අතර මිය යන විට සරේ ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ය. එමෙන්ම ඔහු රූපවාහිනි තරග විකාශන අවධියේ ආරම්භක විස්තර විචාරකයෙක් වූ අතර ග්‍රන්ථ කතුවරයෙක් ලෙසින් ද ප්‍රසිද්ධියක් ඉසිළුවේ ය.

අදටත් ටෙස්ට් තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ජිම් ලේකර්ගේ පෙර කී දක්ෂතාවයි. මේ දක්ෂතාවන් ලැයිස්තු ගත කිරීමේ දී එහි දෙවැනි ස්ථානයේ පසු වෙන්නේ අප පෙර සඳහන් කළ සිඩ්නි බර්න්ස් ය. අනතුරුව එහි ලියැවෙන ඉන්දියාවේ නිරේන්ද්‍ර හිර්වානි, ඕස්ට්‍රේලියාවේ බොබ් මැසි සහ ශ්‍රී ලංකාවේ මුත්තයා මුරලිදරන් පළමු ස්ථාන 5 අතරට පැමිණිය ද කෙදිනකවත් එකී වාර්තාවේ ඉහළින් තම නම ලියා ගැනීමට සමත් වූයේ නැත.

බොබ් මැසී

1972 ජුනි මාසයේ දී ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයේ දී බොබ් මැසි ලකුණු 137කට කඩුලු 16ක් දවා ගනිමින් මේ ලැයිස්තුවේ මේ වන විට සිව්වැනිය බවට පත්ව තිබේ. තම මංගල ටෙස්ට් තරගය වූ එහි දී ඔහු පළමු ඉනිමේ දී ලකුණු 84කට කඩුලු 8ක් ද, නැවත දෙවැනි ඉනිමේ දී ලකුණු 53කට කඩුලු 8ක් දවා ගනිමින් ද මේ දක්ෂතාවට පිවිසියේ ය.

දකුණතින් වේගපන්දු යැවූ මැසී ඉතා කෙටි කලක් ටෙස්ට් තරග පිටියේ රැඳී සිටි ක්‍රීඩකයෙකි. 1972 ජුනි මාසයේ දී මංගල ටෙස්ට් වරම් දිනා ගන්නා මැසී අවසන් ටෙස්ට් තරගය සහභාගී වෙන්නේ 1973 ජනවාරි මාසයේ ය. ඒ දක්වා ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කරන මැසී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 31කි.

නරේන්ද්‍ර හිර්වානි

කාලයක් මේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටි මැසි එම ස්ථානයෙන් ඉවත් කිරීමට වැඩ සලස්වන්නේ ඉන්දියාවේ පා දඟපන්දු යවන නරේන්ද්‍ර හිර්වානි ය.

හිර්වානි 1988 ජනවාරි මාසයේ දී චෙන්නායි හි දී පැවති ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයේ දී ලකුණු 136කට කඩුලු 16ක් දවා ගනිමින් මැසීට වඩා එක් ලකුණකින් පසු බසිමින් මේ ලැයිස්තුවේ තෙවැනි තැන දිනා ගන්නේ ය. ඔහු මෙම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 61කට කඩුලු 8ක් ද, දෙවැනි ඉනිමේ දී නැවත ලකුණු 75කට කඩුලු 8ක් ද බැගින් ලබා ගන්නේ ය. මෙම තරගය හිර්වානිගේ මංගල ටෙස්ට් තරගය වීම ද විශේෂ වේ.

ඉන්දියාව වෙනුවෙන් 1988 සිට 1996 දක්වා වසර 8ක් ටෙස්ට් පිටියේ රැඳී සිටින හිර්වානි ලබා ඇති කඩුලු සංඛ්‍යාව 66කි. එමෙන්ම එක්දින ජාත්‍යන්තර තරග 18ක කඩුලු 23ක් ද පළමු පෙළ තරග 167ක කඩුලු 732ක් ද ඔහු සතු ය.

මුත්තයියා මුරලිදරන්

5 දෙනෙක්ට ලඝු කළ ටෙස්ට් තරගයක හොඳම පන්දු යැවීම් ලැයිස්තුවට මුත්තයියා මුරලිදරන් පිවිසෙන්නේ 1998 වසරේ දී ය. ඒ ඕවල් පිටියේ දී පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ දී ලකුණු 220කට කඩුලු 16ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනි.

එම තරගයේ පළමු ඉනිමේ දී මුරලිදරන් ලකුණු 155කට කඩුලු 7ක් දවා ගන්නා අතර දෙවැනි ඉනිමේ දී ලකුණු 65කට කඩුලු 9ක් දවා ගන්නේ ය. එම ඉනිමේ දී එංගලන්ත නායක ඇලෙක්ස් ස්ටුවර්ට් දුවද්දී දැවී නොයන්නට ඇතැම් විට කඩුලු 10 හිමිකාරීත්වය මුරලිදරන් සතු වීමට ඉඩ තිබුණි.

කෙසේ වෙතත් මුරලිදරන් ඊට වසර 13කට පසුව 2011 වසරේ දී ටෙස්ට් තරග පිටියට සමු දෙන්නේ ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙසින් කිරුළ දරමිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<