අභියෝගාත්මක තරගාවලියකට පෙර

Afghanistan Tour of Sri Lanka 2024

131
T20 Preview

සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරයේ දී සහභාගී වෙන අවසන් තරගාවලිය අද (17) දඹුලේ දී ආරම්භ වීමට  නියමිතයි.  

  • පළමු තරගය: පෙබරවාරි 17 වැනිදා
  • දෙවැනි තරගය: පෙබරවාරි 19 වැනිදා
  • තෙවැනි තරගය: පෙබරවාරි 21 වැනිදා

මෙම තරග ත්‍රිත්වය ම දිවා/රාත්‍රී තරග ලෙසින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.  

ඇෆ්ගනිස්තානය මෙම තරගාවලිය හා එක් වෙද්දී, පැවැති තරගයකින් යුත් ටෙස්ට් තරගයෙන් ද සහ ඊට පසුව පැවැති තරග ත්‍රිත්වයකින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියෙන් 3-0ක පරාජයකට ද මුහුණ දුන්නා. එබැවින් ඒ විස්සෝපය සමනය කරගනු පිණිස, ඔවුන් මෙම තරගාවලිය හා එක් වීමේ දී ප්‍රතිවාදී සත්කාරක ක්‍රීඩකයෝ පරාජය කිරීම අරඹයා හැකි සෑම උත්සාහයක් ම දරණු නියතයි.  

ඔවුන්ට ඒ වෙනුවෙන් වන විශ්වාසය වන්නේ මේ වෙද්දි ලෝකය පුරා ව්‍යාප්ත බලාධිකාරීන්ගේ විස්සයි විස්ස පිටියේ වඩාත් ඉල්ලුම් සහිත ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම ඔවුන් සතු වීමයි.  

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය මෙරට පිවිසීමට පෙර විස්සයි විස්ස තරගාවලියක් සඳහා ඉන්දියාවේ සංචාරය කළ අතර එම තරගාවලිය ඔවුන්ට නිමා කිරීමට ලැබෙන්නේ 3-0ක පරාජයකට මුහුණ දෙමිනුයි.  

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය හා එක් වීමට පෙර සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් මෙරට දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියකට එක් වූ අතර එම තරගාවලිය ඔවුන් නිමා කරන්නේ 2-1ක ජයග්‍රහණයක් වාර්තා කරමින්.  

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරග ඉතිහාසය 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසය ආරම්භ වෙන්නේ 2016 වසරේ සිටයි. එතෙක් මෙතෙක් ඔවුනොවුන් අවස්ථා 5ක දී එකිනෙකා හමු වූව ද ද්විත්ව තරගාවලියක් සඳහා දෙරට ක්‍රීඩකයෝ එක් වෙන පළමු අවස්ථාව මෙයයි.  

නිමා කළ එම තරග 5න් තරග 3ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව හිමි කර ගනිද්දී අනෙක් තරග 2 ජයග්‍රහණය ඇෆ්ගනිස්තානුවන් සතු කර ගන්නවා 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ජයග්‍රාහී මානසිකත්වය උපරිමයෙන් අත් විඳින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගාවලියට එක් වීමේ දී පෙර නිමා වූ එක්දින තරගාවලියට එක් වූ වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයකගෙන් සමන්විත ව මෙම තරගාවලියට එක් වීමට නියමිතයි. 

එක්දින ජාත්‍යන්තර තරගාවලියේ දී දක්ෂතා දැක් වූ පැතුම් නිස්සංක මෙන් ම චරිත් අසලංක ද මෙම තරගාවලිය හා සමඟ එක් වෙන අතර පෙර දක්ෂතා මත මෙම තරගාවලියේ දී ඔවුන් වෙත තැබෙන බලාපොරොත්තු ඉහළ මට්ටමක පවතිනවා.  

එමෙන් ම එක්දින නායක කුසල් මෙන්ඩිස්, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙන් ම හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක සහ කුසල් පෙරේරා ද කණ්ඩායමට එක් ව සිටීම වනිඳු හසරංගගේ නායකත්වයේ බර අඩුකිරීමක් බවට පත් වනු නිසැකයි.  

පන්දු යවන්නන්ගේ බලඇණියේ වැඩි වැඩ කොටසක් නායක වනිඳු හසරංග මත පැටවෙන අතර මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සේ ම ඩිල්ශාන් මධුශංක කෙරෙහි ද වැඩි විශ්වාස තැබෙතැයි විශ්වාස කළ හැකියි.  

මෙය වනිඳු හසරංග නායකයෙක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙන දෙවැනි තරගාවලියයි.   

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය:  

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ශාන් මධුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා). 

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සූදානම 

මේ වන විට ද මෙරට සංචාරයේ තරගාවලි ද්විත්වයක පරාජිතයන් වී සිටින ඇෆ්ගනුස්තානුවෝ තෙවැනි තරගාවලියට එක් වෙන්නේ ගිලිහී ගිය ගෞරවය නැවත ලබා ගැනීම කෙසේ වෙතත් අඩු ම තරමින් තමන්ගේ ජාමෙ බේරා ගෙන ගෙදර යා හැකි මඟක් සොයා ගනිමින් විය යුතුයි.  

එබැවින් මෙම තරගාවලියට කෙලෙස – කොතැනින් – කොහොම එක්වේදැයි සැලසුම් කිරීම ඔවුන්ගේ අද දවසේ ප්‍රමුඛ කාර්ය වනු නියතයි. අද තරගය දිවා/රාත්‍රී තරගයක් බැවින් ඔවුන්ට මේ වෙනුවෙන් තවත් කාර්තු 2ක් ඉතිරි ව තිබෙනවා 

මේ කාලය තුළ ඔවුන් කුමන සැලසුමකට එළැඹිය ද විස්සයි විස්ස පිටියේ සුවිශේෂී ඇෆ්ගනුස්තානුවන් වන Rashid Khan සහ Mujeeb Ur Rahman ආබාධිත තත්ත්වයන් මත කණ්ඩායමේ නොසිටීම ඔවුන් මුහුණ දෙන ප්‍රමුඛ ප්‍රශ්නය වනු ඇත.  

කෙසේ වෙතත් මේ වෙද්දී මෙරට පිවිස සිටින ඇෆ්ගනුස්තානුවන් අතරින් වඩාත් බලාපොරොත්තු සහගත පිතිකරුවා බවට පත් ව සිටින්නේ Rahmanullah Gurbaz. ඔහු නිමා වූ එක්දින තරගාවලියේ දී එතරම් ම ලකුණු අතරට නොපිවිසිය ද විස්සයි විස්ස තරගවල අවසන් ඉනිම් 6 දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 228ක් ලබා සිටී ම ඔහුගේ මෙම වර්ගීකරණයට හේතු වී තිබෙනවා.  

ඊට අමතර ව නායක, Ibrahim Zadran පිතිකරුවෙක් ලෙසින් ද සහ Qais Ahmad සහ Azmatullah Omarzai පන්දු යවන්නන් ලෙසින් ද කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා.  

ඇෆ්ගනිස්තාන නායක Ibrahim Zadran මේ වන විට එරට වෙනුවෙන් විස්සයි විස්ස තරග 6කට නායකත්වය දී ඇති අතර ඉන් තරග 2ක් ජයග්‍රහණය කරද්දී තරග 3ක් පරාජය වෙමින් අවසන් කර තිබෙනවා. 

ඔහුගේ නායකත්වය යටතේ වූ අවසන් තරගය නිමා කරන්නේ ප්‍රබල ඉන්දියානුවන් සමඟ ලකුණු සම කිරීමෙන් අනතුරුව ලෝකයේ සුපිරි පන්දු වාර දෙකක් යවනු ලැබූ එක ම තරගය ලෙසින් ද ඉතිහාසයට එක් වෙමිනුයි.  

ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස සංචිතය: 

Ibrahim Zadran (නායක), Rahmanullah Gurbaz, Mohammad Ishaq, Hazratullah Zazai, Gulbadin Naib, Mohammad Nabi, Najibullah Zadran, Azmatullah Omarzai, Karim Janat, Sharafuddin Ashraf, Fazalhaq Farooqi, Fareed Ahmad, Naveen-ul-Haq, Noor Ahmad, Wafadar Momand, Qais Ahmad 

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 

2001 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ලෙසින් භෞතීස්ම ලැබූ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පිරිමි කණ්ඩායම් ද්විත්වයක් සහභාගී වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මෙයයි.  

මෙම ක්‍රීඩාංගණයේ දී අවසන් වරට පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 2018 වසරේදීයි. එංගලන්තය සමඟින් පැවැති එම තරගයෙන් ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් ව තිබෙනවා.  

එතැන් සිට වසර 6ක් දක්වා පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා විවෘත නොවූ මෙම ක්‍රීඩාංගණය, මෙවර මෙම තරගාවලිය සඳහා විවෘත වෙන්නේ නව තණතිලි සේ ම නව ආලෝක පද්ධතියකින් ද සමන්විතවයි. එබැවින් කණ්ඩායම් දෙකට ම මෙම තරගාවලිය නැවුම් අත්දැකීමක් රැගෙන එනු නියතයි.  

තරගාවලියට සහභාගී වෙන ක්‍රීඩකයන්ට ළඟා විය හැකි සුවිශේෂී කඩඉම් 

වනිඳු හසරංග: විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 100ක් ලබා ගැනීම සඳහා තවත් අවශ්‍ය කඩුලු 2ක් පමණයි.  

චරිත් අසලංක: විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 1000ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තවත් ලකුණු 92ක් පමණයි.  

Rahmanullah Gurbaz: විස්සයි විස්ස 50 වැනි ජාත්‍යන්තර තරගයට සහභාගී වීමට තවත් අවශ්‍ය එක් තරගයක් පමණයි.  

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැදී සිටින්න ThePapare.com සමඟින්. 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<